පාඨලී ගැන අද අධිකරණය ගත් විශේෂ තීරණය..

Champika Ranawaka Sri Lanka Politician Sri Lanka
By Sewvandhi Oct 10, 2022 09:03 AM GMT
Report

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු අනතුරට ලක් කොට ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම ලබන වසරේ මාර්තු මස 17 වනදා තෙක් අත්හිටුවීමට කොළඹ මහාධිකරණය අද (10) නියෝග කළේය.

එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට රජයේ වගකීම් සමුදායක් පැවරි ඇති හෙයින් මීළඟ නඩු දිනය තෙක් දැනට නිකුත් කර තිබෙන විදේශ ගමන් තහනම අත්හිටුවන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා විරෝධය පළ නොකළේය. ඒ අනුව චම්පික රණවක මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම මාර්තු මස 17 වනදා තෙක් අත්හිටුවන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ආගමන විගමන පාලකවරයා ඇතුළු ගුවන් ගමන් බලධාරීන් වෙත දැනුම් දෙන ලෙස නියෝග කළේය.

මේ කාල සීමාව තුළ චම්පික රණවක මහතාට විදේශගතවීම සඳහා අවසර ලැබෙන බව සඳහන් කළ විනිසුරුවරයා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තිබේ නම් ඔහු වෙත මුදාහැරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කර සිටියේය. ඒ අනුව නඩුව මාර්තු මස 20 වනදා කැඳවීමට ද නියෝග කෙරුණි.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පැදවූ ජිප් රථයක් මගින් සංදීප් සම්පත් නමැති තරුණයකුට බරපතළ අනතුරක් සිදුකිරීම, බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ රිය අනතුරක් සිදුකළ පාඨලී චම්පික රණවක නමැති සැකකරු නීතියානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා 16ක් යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now