රට යන්න ඉන්න අයට මෙන්න අලුත්ම ආරංචියක්...

Sri Lanka
By Aruna Jun 05, 2022 05:54 AM GMT
Report

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයත් සමග විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ එක් දින සේවය සදහා පවතින ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම්කළ අයදුම්කරුවන් අසීරුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

රුපියල් 15,000 ක මුදලක් ගෙවීමෙන් අනතුරුව එක්දින සේවයෙන් එදිනම විදේශ ගමන් බලපත්‍රය ලබාගත හැකි වනවා.

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ අයදුම්කරුවන්ට විදේශ ගමන් බලපත්‍රය හිමිවන්නේ සිය අයදුම්පත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අදාළ කාර්යාලයට භාරදී දින 14 ක් ඇතුළතයි.

එම සේවාව යටතේ අයැදුම්කරුගේ නිවසටම තැපැල් මගින් විදේශ ගමන් බලපත්‍රය යොමු කෙරෙනවා.

කෙසේවෙතත් එක්දින සේවයට පවතින ඉල්ලුම ඉහළයාම හේතුවෙන් සාමාන්‍ය ක්‍රමයට යොමුවන අයදුම්කරුවන්ගේ විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීම දින 45ක් පමණ කාලයක් දක්වා ප්‍රමාද වන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ.

එහෙත් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සදහා පවතින ඉල්ලුම හේතුවෙන් එක්දින සේවයෙන් එම බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන පිරිස් ද දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පද්ධතිය සකස් කර ඇත්තේ දෛනිකව විදේශ ගමන්බලපත්‍ර 2,000 ක් නිකුත් කිරීම සඳහා පමණක් බවයි.

එහිදී එක්දින සේවය යටතේ මෙන්ම සාමාන්‍ය සේවය යටතේ විදේශ ගමන්බලපත්‍ර 1000 බැගින් නිකුත් කෙරෙනවා.

එහෙත් මේවනවිට පවතින තත්ත්වය හමුවේ දෛනිකව එක්දින සේවය යටතේ මෙන්ම සාමාන්‍ය සේවය යටතේ විදේශ ගමන්බලපත්‍ර ලබාගැනීම සඳහා 3500 ක් පමණ අයැදුම්කරුවන් පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙමින් සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now