කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට කොන්දේසියක්..

Parliament of Sri Lanka Sri Lanka Parliament
By krishani Sep 20, 2022 08:20 AM GMT
Report

අද (20) සිට එළඹෙන සිකුරාදා දක්වා සියලු කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු පාර්ලිමේන්තු සභා ගර්භයේ රැඳී සිටිය යුතු බවට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය දැනුම් දී ඇත.

ඒ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු සභා ගර්භය තුළ රැඳී නොසිටීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල රැස්විමේ දී අවධානය යොමු වීමකට පිළියමක් ලෙසය.

ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් කැබිනට් මණ්ඩලය දැනුවත් කර ඇති අතර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්න සඳහා මෙන් ම ස්ථාවර නියෝග යටතේ යොමු කරන ප්‍රශ්න සහ සභාව කල්තබන අවස්ථාවේ යොමු කරන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම අනිවාර්යෙන් සිදුකළ යුතුය.

ඒ අනුව අද දිනයේ සිට එළඹෙන සිකුරාදා දක්වා පාර්ලිමේන්තු සභා ගර්භය තුළ රැඳී සිටිය යුතු කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නාම ලේඛනයක් ද සකස් කර ඇත.

අදාළ දිනයේ දී සභාගර්භයේ රැඳි සිටීමට නොහැකි නම් අදාල කැබිනට් අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයට දැනුම් දිය යුතු වේ.