ඔක්තෝබර් 01 සිට රේගුවට විප්ලවීය වෙනසක්
කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය (Paperless Customs Declaration Processing System) එළඹෙන ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ප්‍රකාශ කළේය.
ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ SEMA ගොඩනැගිල්ලේදී පැවැති අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
රාජ්‍ය සේවා ඩිජිටල්කරණය වේගවත් කිරීම රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය සේවා නවීකරණ වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණක් බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා, නව ක්‍රමවේදය හඳුන්වාදීමෙන් රේගු නිශ්කාෂණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ විනිවිදභාවයෙන් යුක්ත වන බව සඳහන් කළේය.
ඩිජිටල් අත්සන යෙදීමෙන් අනතුරුව සිදුකරන ඕනෑම වෙනස් කිරීමක් පද්ධතිය මඟින් හඳුනාගත හැකි බැවින් වංචා සහ දූෂණ අවම කර ගැනීමට හැකි වන බවද ඔහු පැවසීය.
වෙළෙඳ පරිමාව ඉහළ යමින් පවතින වාතාවරණය තුළ මෙම නව ක්‍රමවේදය හඳුන්වාදීම හේතුවෙන් කිසිදු රැකියාවක් අහිමි නොවන බවත්, වෘත්තියේ ස්වභාවයේ යම් වෙනස්කම් සිදු වුවද රේගු නිශ්කාෂණ නියෝජිතයන්ගේ රැකියා ආරක්ෂා වන බවත් ජනාධිපති ලේකම්වරයා අවධාරණය කළේය.
LankaSign ඩිජිටල් අත්සන සහ ASYCUDA පද්ධතිය ඒකාබද්ධ කිරීම මඟින් සියලු රේගු ලේඛන නීත්‍යානුකූලව සහ ආරක්ෂිතව මාර්ගගතව ඉදිරිපත් කිරීමේ පහසුකම සැලසෙන බවද ඔහු සඳහන් කළේය.
නව ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා, එම සහයෝගය ලැබෙන්නේ නම් ඔක්තෝබර් 01 වැනිදා සිට එය සාර්ථකව ආරම්භ කළ හැකි බවද ප්‍රකාශ කළේය.
මෙම වැඩසටහනේදී ASYCUDA පද්ධතිය සමඟ LankaSign ඩිජිටල් අත්සන ඒකාබද්ධ කරමින් කඩදාසි රහිතව රේගු ලේඛන ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය, එහි ප්‍රතිලාභ සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද දැනුවත් කිරීමක් සිදු කෙරිණි.
අනතුරුව පැවැති ප්‍රශ්නෝත්තර සැසියේදී සහභාගී වූ නියෝජිතයින් ඉදිරිපත් කළ ගැටලු සහ යෝජනා පිළිබඳ සාකච්ඡා කර අදාළ නිලධාරීන් විසින් ඒවාට පැහැදිලි කිරීම් ලබා දෙන ලදී.