ලංකාවේ අන්නාසිවලට පකිස්ථානයෙන් කොළ එළියක්
ශ්‍රී ලංකාවේ නැවුම් අන්නාසි පකිස්ථාන වෙළෙඳපොළට අපනයනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ ශාක නිරෝධායන අවශ්‍යතා සම්පූර්ණ කර ඇති බව කෘෂිකාර්මික අංශය සඳහන් කරයි.
වසර ගණනාවක් පුරා පැවති තාක්ෂණික සාකච්ඡා සහ නියාමන ක්‍රියාවලියෙන් අනතුරුව, ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර නැවුම් අන්නාසි ආනයනයට අදාළ ශාක නිරෝධායන කොන්දේසි අවසන් කර ඇති අතර, ඒ අනුව මෙරට අන්නාසි සඳහා පකිස්ථාන වෙළෙඳපොළට පිවිසීමේ අවස්ථාව හිමි වී තිබේ.
මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවය, පකිස්ථාන ජාතික ශාක ආරක්ෂණ සංවිධානය, ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු ආයතනවල සහයෝගයෙන් ක්‍රියාත්මක කර තිබේ.
පකිස්ථාන ව්‍යාපාරික දූත පිරිසක් මෙරට සංචාරයක නිරත වූ අවස්ථාවේදී, ශ්‍රී ලංකා අන්නාසි, අලිගැටපේර සහ තැඹිලි සඳහා එරට වෙළෙඳපොළ ප්‍රවේශය කඩිනම් කරන ලෙස වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අදාළ ආයතන වෙත උපදෙස් ලබා දී තිබූ අතර, එහිදී අන්නාසි අපනයනයට ප්‍රමුඛත්වය ලබා දී ඇත.
වෙළෙඳපොළ ප්‍රවේශ ක්‍රියාවලියේ කොටසක් ලෙස පකිස්ථාන ජාතික ශාක ආරක්ෂණ සංවිධානයේ තාක්ෂණික නිලධාරියෙකු මෙරට අන්නාසි වගා ප්‍රදේශ සහ ශාක නිරෝධායන පද්ධති පරීක්ෂා කර ඇති අතර, එම පරීක්ෂණ සාර්ථකව අවසන් කිරීමෙන් පසු අපනයනය සඳහා අවශ්‍ය ශාක සෞඛ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කර තිබේ.
මේ සඳහා පකිස්ථාන පලතුරු සහ එළවළු අපනයනකරුවන්, ආනයනකරුවන් සහ වෙළෙඳුන්ගේ සංගමය මෙන්ම කොළඹ පිහිටි පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයද සහයෝගය ලබා දී ඇත.
එම සංගමයේ සභාපති අස්ලම් පකාලි මහතා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා අන්නාසි සඳහා පකිස්ථාන වෙළෙඳපොළ විවෘත වීම මෙරට ගොවීන්ට සහ අපනයනකරුවන්ට විශාල අවස්ථාවක් වන බවයි.
පකිස්ථානයේ මිලියන 250කට ආසන්න ජනගහනයක් සිටීම හේතුවෙන් එය ශ්‍රී ලංකා අන්නාසි සඳහා වැදගත් වෙළෙඳපොළක් වනු ඇති බවද ඔහු පෙන්වා දී ඇත.
උසස් තත්ත්වයේ නිවර්තන පලතුරු සඳහා පවතින ඉල්ලුම හේතුවෙන් පකිස්ථානය ශ්‍රී ලංකා අන්නාසි සඳහා ඉහළ විභවයක් සහිත වෙළෙඳපොළක් ලෙස සැලකෙන අතර, ඉදිරියේදී වාණිජ අපනයන ආරම්භ වීමත් සමඟ මෙරට ගොවීන්ට, අපනයනකරුවන්ට සහ වෙළෙඳුන්ට නව ආර්ථික අවස්ථා රැසක් උදා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම පියවර දෙරට අතර කෘෂිකාර්මික සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් වන අතර, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදන අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීමටද දායක වනු ඇත.