පඬු කරඳ ගස් ගැන රජය ගත් අලුත්ම තීරණය..!
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ, පඬු කරඳ හෙවත් කෲඩියා සිලනිකා ශාකය මෙරට සුලබ ශාකයක් බවට පත්කරන බවයි.
අද (16)කතරගම පුදබිම ආශ්‍රිතව පැවති පඬු කරඳ ශාකය ව්‍යාප්ත කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ කතරගම පූජා භූමියේ කෞතුකාගාරය ආශ්‍රිත ප්‍රදේශයේ පඬු කරඳ ශාකය වගා කිරීමට කටයුතු කළ බවය.
එමෙන්ම, එම වගාව ආරක්සිතව සිදුකිරීමේ වගකීම කතරගම දේවාලයේ නිලමේවරයා ඇතුළු කාර්යමණ්ඩලය විසින් භාරගත් බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී කඩවත සිට මීරිගම දක්වා වන කොටසේ ඉදිකිරීම්වලට බාධාවක් බව පවසමින් ගම්පහ දාරළුව ප්‍රදේශයේ පිහිට පඬුකරඳ ගසක් ඉවත් කිරීමට රජය සූදානම් වූ මොහොතේ ඊට පාර්ශ්ව කිහිපයකින් විරෝධය එල්ල විය.
දේවානි ජයතිලක නමැති රාජ්‍ය නිලධාරිනිය සහ පරිසර සංවිධාන එදා ඊට විරෝධය පළ කළේ එය මෙරට එකම පඬු කරඳ ශාකය මෙන්ම වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති ගසක් බව පවසමිනි.
නමුත් පසුව අනාවරණ වූයේ එම ශාකය රතු දත්ත පොතින් පවා ඉවත් කර ඇති අතර එහි තවත් ශාඛා රටේ ස්ථාන කිහිපයකම පවතින බවය.
ඒ අනුව අධිවේගය ඉදිකිරීමේදී රුපිය්ල බිලියන 15ක පාඩුවක් සිදුවීම වළක්වාගැනීම සඳහා අදාළ පඬුකරඳ ගස කපා ඉවත් කිරීමට රජය පියවර ගත්තේය.
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ,පඬු කරඳ ගසට කතරගම දෙවියන් හා සම්බන්ධව පුරාවෘත්ත රාශියක් පවතින අතර ඒ අනුව කතරගම මහ දේවාලය පදනම් කරගෙන පඬු කරඳ ශාකය සුරක්ෂිත කොට පෝෂණය කර ව්‍යාප්ත කිරීම සඳහා වැඩසටහනක් අද දේවාල භූමියේදී ආරම්භ කෙරුණි.
අනෙකුත් පූජනීය ස්ථානවල මෙම ශාකය ව්‍යාප්ත නිරීම සඳහා ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ද නියමිතය. මෙම වැඩසටහන අතරවාරයේ දී කතරගම අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කපුගම සරණතිස්ස හිමි ද අදහස් දැක්විය.
"ඇතැම් මාධ්‍යත් හරිම වැරදියි. මම දකිනවා මේ ජන සමාජයට දෙනවා ලෝකේ උතුම්ම ගස මේ ගහ කියලා. ඒ නිසා වැරදි මතයක් දීලා මිනිස්සු නොමග යැවීම් පිළිබඳව ඇතැම් ජනමාධ්‍ය පිළිබඳවත් අපේ බලවත් කනගාටුව පළ කරනවා. අපි ඉල්ලීමක් කරනවා රට සංවර්ධනය කරන වැඩපිළිවෙළට අපි හැම කෙනෙක්ම සහාය දෙන්න ඕන. ගසක් කපන එක අනුමත කිරීමක් නෙවෙයි අපි අදහස් කරන්නේ. මම දැක්කා පසුගිය වකවානුවේ ඒ ගසට සිවුරු පොරවනවා. බරපතළ ශාසනයට කරන රාජ්‍ය නොවන සංවිධානවලින් අද ගොඩක් දුරට බුදුදහම විනාශ කරන උපක්‍රම තියෙනවා. ඒ අනුව සිවුරත් මහා හෑල්ලුවට ලක්කිරීමක්දෝ කියලා මට සැකයක් තියෙනවා. ඒ නිසා කල්පනා කරන්න හොඳවැඩ කරනවානම් අපි එතන ඉන්නවා."