‘Onmax DT' ගණුදෙනුව සම්බන්ධයෙන් අධිකරණයෙන් දුන් විශේෂ තීන්දුව මෙන්න..

Central Bank of Sri Lanka Sri Lanka Police Department of Prisons Sri Lanka Prisons in Sri Lanka
By Aruna Mar 12, 2024 02:55 AM GMT
Report

නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු කළැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘Onmax DT' පුද්ගලික සමාගමේ සභාපති සහ ජෝර්ජියානු ජාතිකයකු ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනය සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (11) විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේ, මෙම නීති විරෝධී මුල්‍ය ගනුදෙනු කළ ‘Onmax DT' පුද්ගලික සමාගමේ ප්‍රධානී මෙන්ම සභාපතිවරයා මේ වන විට ඔස්ට්‍රේලියාවේ ජීවත්වන බවයි.

ඒ අනුව ඔහු මෙම සිද්ධියේ හත්වැනි සැකකරු ලෙස නම් කර ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඔවුන් සිදුකළ ඉල්ලීම සැලකිල්ලට ගනුමිනුයි මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ, මෙරට ජනතාව ‘Onmax DT' පුද්ගලික සමාගමේ ආයෝජනය කළ මුදල්වලින් රුපියල් බිලියන 600ක පමණ මුදලක් ජෝර්ජියානු ජාතිකයෙකු විසින් එරට දී ඔහුගේ බැංකු ගිණුමකට බැරකර එම මුදල් ලබාගෙන ඇති බවත්, ඒ හේතුවෙන් ඔහු මෙම නඩුවේ අටවැනි සැකකරු ලෙසට නම් කර ඔහුටද විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි.

ඒ අනුව මෙම නඩුවේ හත්වැනි සැකකරු ලෙසට ඔන්මැක්ස් ඩී ටී පුද්ගලික සමාගමේ සභාපතිවරයාත් අටවැනි සැකකරු ලෙස ජෝර්ජියානු ජාතික‍යාත් නම් කළ අධිකරණය ඔවුන් දෙදෙනා ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

එමෙන්ම මෙම නඩුවේ හයවැනි සැකකරු වන මේ වන විට අධිකරණ ඇප නියෝග කඩ කරමින් විදෙස් ගතව සිටින ‘Onmax DT' වෙබ් අඩවියේ නිර්මාතෘවරයා වන මෘදුකාංග ඉංජිනේරුවරයෙකුද ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කරනු ලැබීය.

කෙසේවතත් තවමත් මෙරට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තමන් විසින් මෙම ගණුදෙනුව සදහා මුදල් යොදවා අසරණවී සාධාරණයක් බලාපොරොත්තුවෙන් සිටී.