මේ වසරේ මුල් මාස හයට ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 5,523ක්

Child Abuse Latest Headlines Saroja Savithri Paulraj Sinhala news Puwath.lk
By R.rishma Jul 23, 2026 08:33 AM GMT
Report

2015 සිට 2025 දක්වා ගත වූ වසර 10ක කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි 108,581ක් ලැබී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල් රාජ් මහත්මිය පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ යොමු කළ ප්‍රශ්නයකට අද (23) පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මේ වසරේ අප්‍රේල් 30 වන විට ළමා අපයෝජන සම්බන්ධයෙන් මහාධිකරණවල නඩු 4,421ක් විභාග වෙමින් පවතින බවත්, සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇති බවත් අමාත්‍යවරිය පැවසුවාය.

එම නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව සහ පොලිස් කොට්ඨාස මට්ටමේ ළමා හා කාන්තා කාර්යාංශ 47ක් සමඟ සම්බන්ධීකරණයෙන් නඩු නියාමන කටයුතු සිදු කරන බවද ඇය සඳහන් කළාය.

වින්දිත දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස, ඔවුන් අධිකරණයට ඉදිරිපත් නොකර බාහිර බලපෑම්වලින් තොර පරිසරයක වීඩියෝ සාක්ෂි ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරිය පැවසුවාය.

ඒ සඳහා පළාත් මට්ටමින් වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක 9ක් ස්ථාපිත කිරීමට සුදුසු ස්ථාන හඳුනාගැනීම සම්බන්ධයෙන් අදාළ ආයතන සමඟ සාකච්ඡා කරමින් පවතින බව සඳහන් කළාය.

මේ අතර, 2026 වසරේ මුල් මාස 6 තුළ පමණක් ළමුන් සම්බන්ධ පැමිණිලි 5,523ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇති බව එම අධිකාරිය පවසයි.

ජනවාරි 1 සිට ජුනි 30 දක්වා කාලය තුළ ලැබුණු එම පැමිණිලි අතරින් ළමුන් කෘරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1,100ක්, බරපතල ලිංගික අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 60ක් සහ ලිංගික අතවර සම්බන්ධයෙන් පැමිණිලි 213ක් වාර්තා වී තිබේ.

එමෙන්ම ළමුන් නීතිවිරෝධී ලෙස අපහරණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 99ක්, සිඟමනේ යෙදවීම සම්බන්ධයෙන් පැමිණිලි 100ක් සහ ළමා ශ්‍රමිකත්වය සම්බන්ධයෙන් පැමිණිලි 82ක් ද ලැබී ඇත.

තවද යොවුන් වියේ ගැබ් ගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි 40ක්, ළමා විවාහ සම්බන්ධයෙන් පැමිණිලි 5ක්, ළමුන්ට එරෙහි සයිබර් හිංසන සම්බන්ධයෙන් පැමිණිලි 112ක් සහ සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 13ක් ද මෙම කාලය තුළ වාර්තා වී තිබේ.