හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු අද
මෙරට 35 වැනි පොලිස්පතිවරයා වූ සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරුවේ පොලිස් ගෞරව සහිතව බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
මියයන විට 63 හැවිරිදි වියේ පසුවූ සී.ඩී. වික්‍රමරත්න මහතා 1986 වසරේදී ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වූ අතර, 2019 වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරිණි.
ඉන් අනතුරුව 2020 නොවැම්බර් 27 වැනිදා ඔහු පොලිස්පති ධුරයට පත්වූ අතර, නියමිත විශ්‍රාම දිනයෙන් පසුවද සේවා දිගු කිහිපයක් හිමිවීම හේතුවෙන් 2023 නොවැම්බර් 23 වැනිදා දක්වා එම ධුරයේ කටයුතු කළේය.
සී.ඩී. වික්‍රමරත්න මහතා පසුගිය සිකුරාදා වෙඩි වැදීමකින් මියගොස් තිබූ අතර, එය සියදිවි හානිකර ගැනීමක් බවට සැක පළ කරන බව පොලිසිය සඳහන් කරයි. පොලිසියට අනුව, ඔහු සිය ආරක්ෂක නිලධාරියාට අයත් ගිනි අවියක් භාවිත කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී නැගෙනහිර කොළඹ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරේ සාම්පල සහ සිද්ධියට අදාළ ගිනි අවිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ මාලබේ පොලිසිය එක්ව වැඩිදුර විමර්ශන සිදුකරන අතර, ඒ මහතාගේ බිරිඳ සහ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ ද සටහන් කරගෙන තිබේ.