බිත්තර මිල ඉහළ යාමට රජය සහ දෙපාර්තමේන්තුව වගකිව යුතුයි - බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය
බිත්තර මිල ඉහළ යාම සම්බන්ධයෙන් රජය සහ අදාළ දෙපාර්තමේන්තුව සෘජුව වගකිව යුතු බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසයි.
සංශෝධිත බිත්තර මිල ගණන් ප්‍රකාශයට පත් කරමින් පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, බිත්තර කර්මාන්තයේ ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන ඉරිඟු ආනයනය නතර කිරීම හේතුවෙන් නිෂ්පාදකයින් දැඩි ගැටලුවලට මුහුණ පා ඇති බවයි.
දේශීය ඉරිඟු නිෂ්පාදනය බිත්තර කර්මාන්තයේ අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් නොවන බවත්, ඉරිඟු වෙනුවට සහල් වැනි ආදේශක භාවිත කිරීම ප්‍රායෝගික නොවන බවත් ඔහු පැවසීය.
සත්ව ආහාරවල ගුණාත්මකභාවය පහළ යාම හේතුවෙන් කිකිළියන්ගේ සෞඛ්‍ය තත්ත්වයට බලපෑම් ඇතිවී ඇති අතර, එමගින් බිත්තර නිෂ්පාදනය සියයට 20ත් 30ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇති බවද සරත් රත්නායක මහතා සඳහන් කළේය.
එමෙන්ම ඇතැම් කූට වෙළෙඳුන් විසින් සත්ව ආහාර සඳහා නුසුදුසු ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කිරීම හේතුවෙන් සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බවත්, එය ගොවීන්ට දරාගත නොහැකි පාඩුවක් බවත් ඔහු චෝදනා කළේය.
මෙම ගැටලු පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යවරයා, වෙළෙඳ අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන බවද ඔහු පැවසීය.
බිත්තර යනු අඩු මිලකට ලබාගත හැකි ප්‍රෝටීන් බහුල ආහාරයක් වන බැවින්, මන්දපෝෂණය අවම කිරීම සඳහා බිත්තර ගොවියා විශාල දායකත්වයක් ලබාදෙන බවද සරත් රත්නායක මහතා සඳහන් කළේය.
මේ අතර, බිත්තර මිල තීරණය කිරීමේදී නිෂ්පාදකයා මෙන්ම පාරිභෝගිකයා සහ වෙළෙඳුන් පිළිබඳවද අවධානය යොමු කරන බවත්, පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලක් පවත්වා ගැනීමේ අරමුණින් මෙවර මිල තීරණය කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.