ඩෙංගු රෝගීන් 76,000 ඉක්මවයි - මරණ 53ක් වාර්තා වෙයි

Sri Lanka Dengue Prevalence in Sri Lanka Death Latest Headlines Puwath.lk
By R.rishma Jul 20, 2026 05:45 AM GMT
Report

මෙම වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 76,044 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම ඒකකයේ දත්ත අනුව ඊයේ (19) දිනයේදී පමණක් නව ඩෙංගු රෝගීන් 2,652 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 162ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙස නම් කර තිබේ.

පසුගිය මාස කිහිපය තුළ ඩෙංගු ව්‍යාප්තිය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, මැයි මාසයේදී රෝගීන් 8,590ක්, ජූනි මාසයේදී 21,537ක් සහ ජූලි මාසයේ ගතවූ දින 19 තුළ පමණක් රෝගීන් 20,666ක් වාර්තා වී ඇත.

මෙම වසරේ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් ඇති අතර, මරණ අනුපාතය සියයට 0.07ක් ලෙස සටහන් වී තිබේ.

පළාත් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එහි රෝගීන් සංඛ්‍යාව 40,009කි. එය සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 52.61ක් වේ. දකුණු පළාතෙන් රෝගීන් 11,707ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 6,431ක් වාර්තා වී ඇත.

දිස්ත්‍රික් මට්ටමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වන 15,910ක් වාර්තා වී ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,110ක් හඳුනාගෙන තිබේ. ඉන් 3,073 දෙනෙකු කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් වාර්තා වී ඇත. මීට අමතරව මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,330ක්, මහනුවරින් 5,111ක් සහ කළුතරින් 5,010ක් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තම අවට පරිසරය මදුරු බෝවන ස්ථානවලින් තොරව පිරිසිදුව පවත්වාගෙන යන ලෙසත්, උණ ඇතුළු ඩෙංගු රෝග ලක්ෂණ මතුවුවහොත් ප්‍රමාදයකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසත්ය.