ඔබත් පෞද්ගලික රසායනාගාරවලින් FBC එකට වැඩිපුර ගෙවනවද? ගැසට් කළ නිල ගාස්තු මෙන්න
යාපනයේ පෞද්ගලික රෝහලක් විසින් Full Blood Count (FBC) රුධිර පරීක්ෂණයක් සඳහා නියමිත උපරිම ගාස්තුව ඉක්මවා මුදල් අය කළ බවට වාර්තා වූ සිද්ධියෙන් අනතුරුව, එම පරීක්ෂණ සඳහා නියම කර ඇති නිල ගාස්තු පිළිබඳව ජනතාව අතර දැඩි අවධානයක් යොමුවී තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරන්නේ, 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) වගන්තිය යටතේ නිකුත් කළ අංක 67 දරන නියෝගය අනුව ඇතැම් රසායනාගාර පරීක්ෂණ සඳහා අය කළ හැකි උපරිම ගාස්තු නියම කර ඇති බවයි.
ඒ අනුව,
Full Blood Count (FBC) පරීක්ෂණයක් සහ එහි වාර්තාව සඳහා අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 400කි.
ඩෙංගු NS1 Antigen පරීක්ෂණයක් සහ එහි වාර්තාව සඳහා අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 1,200කි.
මෙම නියෝගය 2020 ජූලි 29 දින සිට ක්‍රියාත්මක වන අතර, එය 2020 ජූලි 29 දිනැති අංක 2186/17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර තිබේ.
පෞද්ගලික රෝහල් හෝ වෛද්‍ය රසායනාගාරවලින් මෙම පරීක්ෂණ සිදුකර ගැනීමේදී නියමිත උපරිම ගාස්තු පිළිබඳව සැලකිලිමත් වන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම, ගෙවන මුදල සඳහා සෑම විටම නිවැරදි බිල්පතක් හෝ රිසිට්පතක් ලබාගන්නා ලෙසත්, නියමිත උපරිම ගාස්තුව ඉක්මවා මුදල් අය කරන්නේ නම් අදාළ බිල්පත සහ අනෙකුත් සාක්ෂි සමඟ කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණිලි කරන ලෙසත් ජනතාවට දැනුම් දී ඇත.