සාමාන්‍ය පෙළට A 09ක් ගත් සිසුවාට පුද්ගලයෙක් ගිනි තබයි.. සිසුවාට බරපතලයි.

Ministry of Education Sri Lanka Fire Accident
By Aruna Nov 29, 2022 03:47 AM GMT
Report

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය A සාමාර්ථ නවයක් සමගින් සමත් වූ අම්පිටිය ප්‍රදේශයේ පදිංචි සිසුවෙකුගේ ශරීරයට කිසියම් පුද්ගලයෙකු භූමිතෙල් දමා ගිනි තැබීම හේතුවෙන් බරපතළ පිලිස්සුම් තුවාල ලත් සිසුවා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මහනුවර, අම්පිටිය, පල්ලේගම පදිංචි සිසුවා ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු තමන් ලද විශිෂ්ට ප්‍රතිඵලය සිය මිත්තණියට දැනුම් දීම සඳහා 26දා රාත්‍රියේ ගොස් පියා සමග ආපසු එමින් සිටියදී අම්පිටිය මී කණුව ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයෙකු ඉදිරියට පැමිණ ශරීරයට භූමිතෙල් ඉස ගිනි තබා ඇති බව සඳහන් වේ.

ගිනි තැබීම සිදු කළ පුද්ගලයා සමග තවත් කිහිප දෙනෙකු පැමිණ ඇති බව සඳහන් වන අතර අඳුර වැටී තිබූ බැවින් මෙම ගිනි තැබීම සිදුකළ පුද්ගලයා හඳුනා ගැනීමට නොහැකි වූ බව සිසුවාගේ පියා පොලිසියට පවසා ඇත.

සිසුවාගේ ගෙළ ප්‍රදේශයේ සිට පහළට සම්පූර්ණයෙන්ම පිළිස්සී ඇති අතර ඊයේ (නොවැ. 28) පෙරවරුවේ ඔහු සැත්කමකට ලක්කර ඇත.

අම්පිටිය ප්‍රදේශය බිය ගන්වමින් බොහෝ කලෙක සිට ක්‍රියාත්මක වන මැර කල්ලියක සාමාජිකයෙකු මෙම ගිනි තැබීම සිදුකර තිබෙන බවත්, සිසුවාගේ පවුලේ උදවිය ඔවුන්ට ඇති බිය නිසා සිද්ධිය වසන් කරන බවත් ප්‍රදේශවාසීහු පවසයි.

අම්පිටිය ශාන්ත බෙනඩික් විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටි මේ සිසුවාගේ තත්ත්වය බරපතළ බව දැන ගන්නට තිබේ.

කලෙක සිට අම්පිටිය ප්‍රදේශය භීතියට පත් කරමින් ක්‍රියාත්මක මැර කල්ලි සාමාජිකයන් පසුගිය කාලය පුරා මෙවැනි අමානුෂික ක්‍රියා රැසක් සිදුකළ නමුත් පොලිසිය ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග නොගන්නා බව ප්‍රදේශවාසීහු චෝදනා කරයි.

මෙම මැර කල්ලිය සමග එක්ව හෙරොයින්, ගංජා ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් භාවිත කරන්නන් කලක පටන් අම්පිටිය හා ඒ ආශ්‍රිත ජනතාව භීතියට පත් කරමින් එළිපිට කප්පම් ගැනීම් සිදු කරන නමුත් ජීවිතාරක්ෂාව වෙනුවෙන් නිහඬව සිටීමට සිදුව ඇතැයි පවසන ප්‍රදේශවාසීහු පොලිසියට තොරතුරු ලබාදුන් විට ඇතැම් නිලධාරීන් අපරාධකරුවන්ට තොරතුරු ලබාදුන් පුද්ගලයන්ගේ අනන්‍යතාව හෙළි කිරීම නිසා කිසිවෙකුත් මෙම මැර කල්ලිවලට එරෙහිව කටයුතු කරන්නට නොයන බවත් පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදා තිබෙන බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා කීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now