සාමාන්‍ය පෙළට A සාමාර්ථ 9 ක් ගත් කාවින්ද්‍යා ගේ සංවේදී කඳුළු කතාව..

Ministry of Education G.C.E. (O/L) Examination
By Aruna Nov 28, 2022 12:29 AM GMT
Report

උපතින්ම දෙනෙත් නොපෙනුනත් ඇය සැබෑම දක්‍ෂ දැරියකි. සිය සැබෑ දක්‍ෂතාව පහේ ශිෂ්‍යත්වයෙන් පිළිබිඹු කළ ඇය තවත් වසර පහක් ගතවන විට මෙවර සාමාන්‍ය පෙළ (2021) විභාගයේ විෂයයන් නවයටම A සාමාර්ථ 09 ක් ලබාගෙන තම ප්‍රතිභාව රටටම පසක් කර ඇත.

විවිධ බාධක හමුවේ සාමාන්‍ය පෙළ ජයගත් තවත් දරුවන්ද සිටිය හැකි වූවත් අපගේ අවධානය යොමුවූයේ හිමාෂා කාවින්ද්‍යා හේරත් සිසුවිය වෙතයි.

ඒ වෙන කිසිවක් නිසා නොව A සාමාර්ථ 09 ක් ලබාගෙන විද්‍යා විෂය ධාරාව හදාරා වෛiවරියක වීමේ සිහිනය ඇයට ඇතත් මෙරට අධ්‍යාපන ක්‍රමයෙන් එවැනි තැනකට යෑමට පහසුකම් නොමැති නිසා ඇය කලා විෂයයන් හදාරා නීතිය හැදෑරීමට අදහස් කරගෙන සිටින නිසාය.

හිමාෂා කාවින්ද්‍යාගේ උපන්ගම අනුරාධපුරයයි. ඇයගේ මුල්ම පාසල වූයේ කුරුණෑගල සඳකඩ විශේෂ පාසලය.

එම පාසලෙන් 2016 වසරේදී ශිෂ්‍යත්වය විභාගයෙන් ලකුණු 173 ක් ලබාගත් කාවින්ද්‍යා උසස් අධ්‍යාපනය සඳහා කුරුණෑගල මහින්ද විද්‍යාලයට ආවාය. සිය ජයග්‍රහණය පිළිබඳව කාවින්ද්‍යා ප්‍රධාන පුවත්පතකටපග පවසා තිබුණේ, මෙසේය.

“මම සඳකඩ විශේෂ පාසලේදී ශිෂ්‍යත්වය සමත්වෙලා කුරුණෑගල මහින්ද විද්‍යාලයට ආවා. මම හැමදාම පන්තියේ පළමුවැනියා වුණා.

ගුරුවරුන් කියල දෙන දේ මම නිතරම තනියෙන් කරන්න කටයුතු කළා.

මම අධ්‍යාපනයට අමතරව සංගීතයත් හැදෑරුවා. මම තමයි 2017 වසරේ රාගධාරි සංගීතයෙන් ලංකාවෙන්ම පළමුවැනියා වුණේ. මම A 09 ක් ලබාගෙන විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන්න ආසයි.

නමුත් අපේ පහසුකම් නොමැති නිසා කලා අංශයෙන් ඉගෙන ගෙන නීතිය හදාරන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. මගේ ජයග්‍රහණයට අපේ ගෙදර වගේම පාසලේ ආචාර්ය මණ්ඩලයේ විශාල සහයෝගයක් ලබාදුන්නා. මම ඒ සියලුම දෙනාට ස්තුතිය පළ කරනවා.

හිමාෂා කාවින්ද්‍යා සිසුවියට වැඩිමහල් සොහොයුරෙකු සිටින අතර ඔහු මලියදේව ආදර්ශ විදුහලේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරයි.

පියා අනුර හේරත් වන අතර මව කුරුණෑගල මහින්ද විද්‍යාලයේම විද්‍යා ගුරුවරියක් ලෙස සේවය කරයි.

දියණියගේ ජයග්‍රහණය පිළිබඳ කාවින්ද්‍යාගේ මව වන ගීතානී ලියනගේ මහත්මිය මෙසේ පැවසුවාය. “දුව කුඩා කාලයේ ඉඳලම දක්‍ෂයි.

ඇය ශිෂ්‍යත්වය සමත්වෙලා මහින්ද විද්‍යාලයට පැමිණි පසුද අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන ගියා.

සාමාන්‍ය සිසුන් අතරත් ඇය පන්තියේ පළමුවැනියා වුණා. දුව ඉගෙනීමට දක්‍ෂ නිසා සාමාන්‍ය පෙළ විභාගයෙන් හොඳ ප්‍රතිඵල ලබාගෙන පාසලට කීර්තියක් ගෙනදෙයි කියා විදුහල්පතිවරයාගේ සිට ගුරුමණ්ඩලය සහ අනෙක් අයත් ලොකු විශ්වාසයකින් හිටියා.

දුව ඔවුන්ගේ විශ්වාසය රැකීම ගැන මම ආඩම්බර වෙනවා. උසස් පෙළ විද්‍යා විෂය ධාරාවෙන් ඉදිරියට යෑමට දුවගේ කැමැත්තක් තිබුණත් එයට පහසුකම් නොමැතිවීම නිසා ඇය කලා විෂය තෝරාගෙන නීතිය හැදෑරීමට අදහස් කරගෙන සිටිනවා.

මගේ දුව උසස් පෙළ විභාගයෙන් ඉහළින්ම සමත්වී උසස් අධ්‍යාපනය ලබනු ඇතැයි මම විශ්වාස කරනවා.

අපි හැමෝම එකතුවෙලා දුවට ඒ සඳහා සහයෝගය ලබාදීමට කටයුතු කරනවා.’


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now