සමාජ මාධ්‍ය වෙත වීඩියෝ මුදාහරින්නනන්ට රතුඑළි - පොලීසියෙන් නිවේදනයක්..!

Nihal Talduwa Sri Lanka Police Sri Lanka
By Sewvandhi Jul 08, 2023 12:47 PM GMT
Report

පොලීසිය ප්‍රකාශ කළේ, කාන්තාවන් සහ ළමුන් සම්බන්ධයෙන් සිදුවන ඇතැම් කාරණා වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහරින පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ,

"කාන්තාවන්ට පහරදී ඔවුන්ට ලිංගික හිරිහැර සිදුකිරීම වීඩියෝ කරලා ඒවා සමාජ මාධ්‍ය වෙත යොමුකර තිබෙනවා. ඒ යොමු කළ පුද්ගලයා බරපතළ වරදක් කරලා තියෙනවා. දඬුවම් ලබාදිය හැකි වරදක් ඔහු සිදුකරන්නේ. ඒ නිසා ඒ සම්බන්ධවත් විමර්ශන පවත්වනවා."

නවගමවු පොලිස් වසමේ ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් එතුමා මේ බව සඳහන් කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළේ, 

 "දණ්ඩනීති සංග්‍රහයේ 365 ඈ 1 කියන වගන්තිය මතයි මේ සම්බන්ධව නීතිය සඳහන් කරලා තිබෙන්නේ. යම්කිසි පුද්ගලයෙක් මේ ආකාරයේ ප්‍රචාරයක් සිදු කළොත් වසර 2 දක්වා බරපතළ වැඩ ඇතිව හෝ නැතිව දඩුවම් ලබාදීමේ හැකියාවක් තිබෙනවා. දඩයක් නියම කිරීමේ හැකියාවත් තිබෙනවා. නමුත් නඩු විභාගයකින් ඔප්පු වෙන්න ඕනේ."

"කාන්තාවන් සහ ළමුන් සම්බන්ධයෙන් තිබෙන කාරණා ප්‍රචාරය කිරීම විශේෂයෙන් නීතියෙන් තහනම් කරලා තිබෙන දේවල්." "සමාජ මාධ්‍ය ජාල හරහා මේවා යම් පුද්ගලයෙක් සමාජගත කිරීමේදී අනිවාර්යයෙන්ම ඔහු කරන්නේ බරපතළ වරදක්." "මේ නවගමුව සිද්ධියේදීත් අපි ඒ පුද්ගලයාව හඳුනාගෙන ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා."