පාර්ලිමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්..!

Parliament of Sri Lanka Sri Lanka
By Sewvandhi Jul 13, 2023 12:40 PM GMT
Report

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මහ බැංකු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ලබන 20 වනදා පැවැත්වීමට නියමිත බව දැනුම්දී තිබේ.

ලබන 19 වනදා දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය පැවැත්වෙන බවද එහි සඳහන් වෙයි. නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මේ බව පැවසීය.

එනම්, පාර්ලිමේන්තුව ජූලි 18 වනදා සිට 21 වනදා දක්වා රැස්වීමට නියමිතව තිබේ. සෑම දිනකම පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

ජූලි මස 02 වනදායින් ඇරඹෙන පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු, පසුගිය 07 වනදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ.

ඒ අනුව 2023 ජූලි මස 18 වන අඟහරුවාදා පෙ.ව. 09.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව. 10.30 සිට ප.ව. 1.30 දක්වා රේගු ආඥාපනත යටතේ අංක 2325/07 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද යෝජනා සම්මතය (235 අධිකාරය) සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2335/26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතව ඇත.

අනතුරුව ප.ව. 1.30 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය ගෙනෙන යෝජනාවට අනුව පලස්තීන ජනතාව වර්තමානයේ මුහුණදී සිටින දුෂ්කරතා පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී තීරණය වී තිබේ.

2023 ජූලි මස 19 වන බදාදා පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට නියමිත බවද මහලේකම්වරිය පැවසුවාය.

ඉන්පසු පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන "හදට හද භාරකාර අරමුදල" (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය ‍වෙන්කර ඇත.

2023 ජූලි මස 20 වන බ්‍රහස්පතින්දා පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ. ඉන්පසු අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමට ද ‍නියමිතය.

ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවට විවාදයට ගැනේ. 2023 ජූලි මස 21 වන සිකුරාදා පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී එකඟත්වය පළවී ඇත. අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.