හරක්කටා ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

Sri Lanka Ministry of Defense Sri Lanka
By Sithumi Oct 07, 2022 02:22 PM GMT
Report

මෙරට පොලිසියට අත්අඩංගුවට ගැනීමට අත්‍යවශ්‍ය කර සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නිදහස් කළ බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍ය බවත්, ඒවා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.

අද (07) දින ප්‍රකාශයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ අපරාධකරුට අදාළ ලිපිගොනුව ඩුබායි බලධාරින්ට ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශයට ප්‍රමාද වීම හේතුවෙන් මෙලෙස අසත්‍ය ප්‍රචාර පැතිරෙන බවයි. හරක් කටා හෙවත් නදුන් චින්තක මේ වනවිට ඩුබායි පොලිසිය භාරයේ පසුවනවා. 

 මෙරට පොලිසිය විසින් නිකුත් කරන ලද රතු නිවේදනයට ප්‍රතිචාර වශයෙන් මෙම වසරේ අගෝස්තු 19 වැනි දින ඩුබායි රාජ්‍යයේ බලධාරින් මගින් හරක් කටාව අත් අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන කොළඹ ජාතික මධ්‍යම කාර්‍යාංශය ( ශ්‍රී ලංකා ඉන්ටර්පෝල්) වෙත දැනුම් දී තිබෙනවා.

අනතුරුව සැප්තැම්බර් 12 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුව ශ්‍රී ලංකාවට භාරදීම සම්බන්ධීකරණය කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදු කෙරුණා. 2022 සැප්තැම්බර් 13 වන දින, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් පරිදි, සැකකරු සම්බන්ධයෙන් සකස් කරන ලද ලිපියක් සහ ඊට අදාළ නිල ලේඛන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට (MFA) නීති අංශයට භාර දී තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස MFA විසින් මේ සම්බන්ධයෙන් සැප්තැම්බර් 14 වන දින නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබූ අතර ඊට 2022 සැප්තැම්බර් 26 වන දින නීතිපති දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිචාර දැක්වූවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now