පරිස්සමින්..! හොර විදේශ රැකියා ඒජන්සි හැම තැනම..විශේෂ දැනුම්දීමක්..!
රටේ පවතින වර්තමාන තත්ත්වය අනුව විදේශ රැකියා සඳහා යාමට විශාල පිරිසක් පෙළඹී ඇති අතර, විදේශ රැකියා ලබා දෙන බව පවසා වංචනික අයුරින් මුදල් ලබාගන්නා ඒජන්සි ආයතන හා පුද්ගලයින් පිළිබඳව විශාල වශයෙන් තොරතුරු ලැබෙමින් පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
යම් පුද්ගලයෙකුට හෝ ඒජන්සි ආයතනයකට විදේශ ගමන් බලපත්‍රය හෝ මුදල් ලබාදීමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතීමෙන් අදාළ රැකියා නියෝජිත ආයතනයේ නීත්‍යානුකූලබව තහවුරු කර ගන්නා ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර අම්පාර හා කල්මුණේ නගර කේන්‍ද්‍ර කරගනිමින් වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය ව්‍යාජ එජන්සි ආයතන දෙකක් වටලා සැකකරුවන් දෙදෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගත්බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
අම්පාර, බුද්ධංගල පාරේ ස්ථානයක පවත්වාගෙන ගිය එච්.ආර්.මැනේජ්මන්ට් සර්විසස් යන නමින් එක් ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම ස්ථානය වටලා එහි හිමිකරු හා නඩු භාණ්ඩ ලෙස විදේශ ගමන් බලපත්‍ර 17ක්, විදේශ රැකියා අයදුම්පත්, නාමපුවරු බැනර් ඇතුළු ලේඛන රැසක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු එදිනම අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගෙන ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැර ඇති අතර, නොවැම්බර් මස 11 දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරන ලදී.
කල්මුණේ පල්ලිය පාරේ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයා සහ එහි තිබී විදේශ ගමන් බලපත්‍ර 4ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු එදිනම කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැර ඇත. එම නඩුව නොවැම්බර් මස 4 වන දින යළි කැඳවීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |