ලංකාවේ රාජපක්ෂ පාලනයට අමෙරිකාවෙන් දැඩි චෝදනාවක්..!
දුර්වල පාලනය සහ පැවති රජයේ ආර්ථික ප්‍රතිපත්ති හමුවේ ශ්‍රී ලංකා ජනතාව දැඩි පීඩාවට පත්කරන ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බව මුල්පෙලේ අමෙරිකානු සෙනෙට් සභිකයින් පිරිසක් පවසයි. අමෙරිකානු සෙනෙට් මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කරන මෙම සෙනෙට් සභිකයින් පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවක් අවශ්‍ය බවය.
අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුවේ සභාපති බොබ් මෙන්ඩෙස් සහ තවත් සෙනෙට් සභිකයින් තිදෙනෙක් විසින් ශ්‍රී ලංකාව පිළිබඳ එම යෝජනාව අමෙරිකානු සෙනෙට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. එහි දැක්වෙන්නේ මෙරට දුර්වල පාලනය සහ පැවති රජයේ ආර්ථික ප්‍රතිපත්ති හමුවේ ශ්‍රී ලංකා ජනතාව දැඩි ලෙස පීඩාවට පත්කරන ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බවය.
ආර්ථික වර්ධනය තුළින් ශ්‍රී ලංකාවේ දුප්පත්කම තුරන්කිරීමේ අරමුණෙන් අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපර්රේෂන් මගින් පිරිනැමූ ඩොලර් මිලියන 480ක මූල්‍ය සහාය ලක් රජය විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව ද සෙනෙට් සභිකයින් ඉදිරිපත් කළ යෝජනාවට ඇතුළත් කර තිබේ. ශ්‍රී ලංකාවේ පැවති රාජපක්ෂ පාලන සමය තුළ රටේ සම්පත් විනිවිඳභාවයකින් තොරව දේශපාලන අරමුණු සඳහා යොදාගත් බවටත් අදාළ යෝජනාව මගින් චෝදනා කරයි.
එමෙන්ම නිසි මඟපෙන්වීමකින් තොරව ක්‍රියාත්මක කළ කෘෂිකර්ම ප්‍රතිපත්ති සහ චීනයෙන් ඩොලර් බිලියන ගණන් ණය ලබාගෙන ආර්ථික වශයෙන් ශක්‍යතාවක් නොමැති දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කළ බවට ද අමරිකාවේ සෙනෙට් සභිකයින් ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් කර තිබේ. ඉන් ශ්‍රී ලංකාව චීනයේ ණය උගුලකට සිරකොට ඇති බවත්, ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව ආහාර, ඖෂධ හා ඉන්ධන නොමැතිව දැඩි අහිතකර තත්ත්වයකට පත්ව ඇති බවත් අදාළ යෝජනාවේ සඳහන්ය.
එමෙන්ම දේශීය වශයෙන් අහිතකර වාතාවරණය හමුවේ වුවද මෙරට සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් වගවීමක් සහතික කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව තවදුරටත් සහාය දැක්විය යුතු බවත් ඉන් යෝජනා කර තිබේ. එමෙන්ම මෙරට සාමකාමී විරෝධතාවන් සිදුකිරීම සඳහා ජනතාව සතු අයිතියට ගරුකරන ලෙස මෙරට ආරක්ෂක අංශ වෙත ආයාචනා කරන බවත් එම යෝජනාව මගින් සෙනෙට් සභිකයින් ඉල්ලා සිටී. සෙනෙට් සභිකයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින්නේ , විපක්ෂ දේශපාලන පක්ෂ සහ සුළු ජනකොටස් සමග එක්ව අර්බුදයට විසඳුම් සොයන ලෙසය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |