පානීය ජලය සීමා කිරීමේ තීරණයක් නෑ - ජල සම්පාදන මණ්ඩලය
එල්-නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ කිසිදු ප්‍රදේශයකට මේ වන විට පානීය ජල සැපයුම සීමා කිරීමේ තීරණයක් ගෙන නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එහි සභාපති චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේ, රටේ පානීය ජලය ලබාගන්නා ප්‍රධාන ජලාශවලින් ජලය නිකුත් කිරීම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හෝ මහවැලි සංවර්ධන අධිකාරිය මේ දක්වා කිසිදු සීමාවක් පනවා නොමැති බැවින්, ජල සම්පාදන මණ්ඩලය සිය උපරිම ජල නිෂ්පාදන ධාරිතාව පවත්වාගෙන යන බවයි.
කෙසේ වෙතත්, ඉදිරියේදී ජලාශවල ජල මට්ටම් සැලකිය යුතු ලෙස පහළ ගොස් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හෝ මහවැලි සංවර්ධන අධිකාරිය ජල නිකුත් කිරීම සීමා කළහොත්, එම තත්ත්වය අනුව පානීය ජල සැපයුම සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බවද ඔහු සඳහන් කළේය.
එල්-නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා ජල සම්පාදන මණ්ඩලය මේ වන විටත් විශේෂ පූර්ව සූදානමක නිරතව සිටින අතර, භූගත ජලය වැඩි වශයෙන් ලබාගැනීම සඳහා පවතින නල ළිං පද්ධති වැඩිදියුණු කිරීමට පියවර ගෙන ඇති බවද සභාපතිවරයා පැවසීය.
මෙම තත්ත්වය පහව යන තෙක් ජලය අපතේ නොයවා අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා පමණක් භාවිත කරන ලෙසත්, උපරිම අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසත් චන්දන බණ්ඩාර මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව මේ වන විට අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල වියළි කාලගුණික තත්ත්වයක් වර්ධනය වෙමින් පවතී.
එමෙන්ම සැප්තැම්බර් මාසයෙන් පසු යළි වර්ෂාපතනය ලැබෙනු ඇතැයි අපේක්ෂා කළද, 2027 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් තීව්‍ර විය හැකි බවට පුරෝකථනය කර ඇති බවද චන්දන බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.