නාමල් රාජපක්ෂට එරෙහි විමර්ශනයට තවමත් නීතිපති උපදෙස් නෑ - නඩුව කල් යයි
පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී අයථා ලෙස උපයා ගත් බව කියන රුපියල් මිලියන 15ක මුදලක් පෞද්ගලික සමාගමක ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව සිදුකරන විමර්ශනයට අදාළව මෙතෙක් නීතිපතිවරයාගේ උපදෙස් ලැබී නොමැති බව පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (29) කොළඹ මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට සැක කෙරෙන මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ විමර්ශන අවසන් කර උදෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව ද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
යහපාලන රජය සමයේ ආරම්භ කළ මෙම විමර්ශනය 2016 වසරේදී අවසන් කර ඊට අදාළ උදෘත නීතිපතිවරයා වෙත යොමු කර තිබූ බව ද අධිකරණයේදී අනාවරණය විය.
අදාළ නඩුව අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කර නොතිබිණි. ඇප මත මුදාහැර සිටින සෙසු සැකකරුවන් වන සුජානි බෝගොල්ලාගම, නිත්ය සමරනායක සහ සුදර්ශන බණ්ඩාර යන අය අධිකරණය හමුවේ පෙනී සිටියහ.
සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර උදෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති නමුත්, ඉදිරි නඩු කටයුතු සම්බන්ධයෙන් මෙතෙක් උපදෙස් ලැබී නොමැති බව පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය. කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා අදාළ නඩුව පෙබරවාරි 11 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය. එදිනට නීතිපති උපදෙස් සම්බන්ධයෙන් ගෙන ඇති ක්රියාමාර්ගවල ප්රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස ද මහේස්ත්රාත්වරයා නියම කළේය.