ගෑස් අර්බුදයට විසඳුමක් - දිනකට ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළෙඳපොළට
පවතින ගෑස් හිඟයට විසඳුම් ලබාදීම සඳහා දිනකට ලිට්රෝ ගෑස් සිලින්ඩර් 90,000ත් 100,000ත් අතර ප්රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව අමාත්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී අදහස් දක්වමින් අමාත්යවරයා සඳහන් කළේ, සාමාන්ය තත්ත්වය යටතේ දිනකට වෙළෙඳපොළට නිකුත් කරනු ලබන ගෑස් සිලින්ඩර් ප්රමාණය 74,000ක් පමණ වන නමුත්, පවතින ඉල්ලුමට ප්රතිචාර වශයෙන් එම ප්රමාණය සියයට 25කින් පමණ ඉහළ නංවා ඇති බවයි.
ලාෆ් ගෑස් සැපයුමේ පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඇතිවූ ගැටලු හේතුවෙන් ලිට්රෝ ගෑස් සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ද අමාත්යවරයා පෙන්වා දුන්නේය.
"ලාෆ් ගෑස් සැපයීමේ ප්රශ්නයක් තියෙනවා.පසුගිය සැප්තැම්බර් මාසයේ සිට. ලිට්රෝ ගෑස්වල අපේ දෛනික ඉල්ලුම මෙට්රික් ටොන් 1100ක් තිබුණේ ඒක 1,600ක් දක්වා ඉහළ ගිහින් තිබුණා. නමුත් දැන් වෙනකොට මෙට්රින් ටොන් 3,000ක ලිට්රෝ ගෑස් තොගයක් ලංකාවට ඇවිත් තියෙනවා මේ වන විට ගොඩබෑමේ කටයුතු සිදුවෙමින් තිබෙනවා.
ඊට අමතරව ඔක්තොම්බර් 31 වෙනි සෙනසුරාදා වෙනකොට තවත් මෙට්රික් ටොන් 3,900ක නැවක් පැමිණීමට නියමිතයි. සාමාන්යයෙන් දැනට අපි කිලෝග්රෑම් 12.5 ගෑස් සිලින්ඩර් දිනකට 90,000-100,000ත් අතර ප්රමාණයක් වෙළෙඳපොළට නිකුත් කරනවා. ලිට්රෝ ගෑස් සාමාන්ය තත්ත්වයකදි නිකුත් කරන්නේ සිලින්ඩර් 74,000ක් පමණයි. ඊට අමතරව 25%ක් පමණ නිකුත් කරලා තමයි මේ තත්ත්වයට මුහුණ දෙමින් යන්නේ මේ ලාෆ් එකේ ඇතිවෙලා තියෙන ප්රශ්නයත් එක්ක."