රත්නපුර - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය අද රාත්‍රියේ සීමා කෙරේ

Sri Lanka Police Latest Headlines Sinhala news SriLanka - Puwath Special Announcement
By R.rishma Jul 03, 2026 08:55 AM GMT
Report

රත්නපුර - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව කහවත්ත පුරාණ විහාරස්ථානයේ වාර්ෂික මිහිඳු මහා පෙරහර අද (03) රාත්‍රී කාලයේ වීථි සංචාරය කිරීමට නියමිතව ඇති බැවින් රථවාහන ගමනාගමනය සීමා කිරීම සිදුකරන බව පොලීසිය පවසයි.

පෙරහර රාත්‍රී 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා රත්නපුර - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කර ලිහිණියා හන්දියෙන් හැරී කොටකෙතන මාර්ගය ඔස්සේ නැවත කහවත්ත පුරාණ විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර ඇත.

අඳාළ කාලය තුළ සැහැල්ලු වාහන සඳහා පමණක් මාර්ගයේ එක් මංතීරුවක් ඔස්සේ ගමන් කිරීමේ පහසුකම් සලසා තිබෙන අතර, බර වාහන සඳහා විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලීසිය දන්වයි.

එබැවින් ඇඹිලිපිටිය සිට කොළඹ දෙසට ගමන් කරන බර වාහන කහවත්ත යායින්න හන්දියෙන් වමට හැරී මනන්දොළ, නිවිතිගල සහ තිරිවානාකැටිය හරහා රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකිය. තවද රත්නපුර සිට ඇඹිලිපිටිය දෙසට ගමන් කරන බර වාහන පැල්මඩුල්ල, බලංගොඩ සහ වැලිගෙපොල හරහා පල්ලෙබැද්ද මාර්ගය ඔස්සේ ගමනාන්තය වෙත ළඟා විය හැකි බව සඳහන් වේ.

මීට අමතරව, කහවත්ත ඔරලෝසු කණුව වටරවුමෙන් වමට පිහිටි ඕපනායක මාර්ගය ඔස්සේ ඕපනායකට පිවිස, බලංගොඩ සහ පල්ලෙබැද්ද හරහා ඇඹිලිපිටිය දෙසට ගමන් කිරීමේ හැකියාවද පවතින බව පොලීසිය සඳහන් කරයි. ඒ අනුව අඳාළ කාලසීමාව තුළ අදාළ මාර්ග භාවිත කරන රියැදුරන් විකල්ප මාර්ග භාවිත කරමින් ගමන් සැලසුම් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා ඇත.