අධිවේගී මාර්ග භාවිතා කරන සියලු දෙනාට අනිවාර්යය නීතියක්

Bimal Rathnayake Ceylon Highway Employees Union Highways In Sri Lanka Latest Headlines Sinhala news
By Shehan Jul 01, 2025 05:27 AM GMT
Report

අගෝස්තු 01 වන දින සිට අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ට සහ සැප්තැම්බර් 01 වන දින සිට අධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ආසන බඳපටි පැලඳීම අනිවාර්යය කර තිබේ. 

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව කියා සිටියේය. 

රිය අනතුරුවලින් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි වන බවත් එම තත්ත්වය මඟ හැරීම සඳහා මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය වන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල යන අයට ද ආසන පටි පැලඳීම අනිවාර්යය වන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. 

මේ අතර, 2011 වසරේ සිට ආසන පටි පැලඳීම අනිවාර්යය කර තිබුණ ද සැහැල්ලු වාහන සඳහා එම නීතිය තරමක් ක්‍රියාත්මක වුවත් ලොරි සහ බස්රථ එම නීතිය මඟ හැර සිටි බවත් අද සිට බස් හා ලොරි රථ සඳහා ආසන පටි පැලඳීම අනිවාර්යය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙය හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමක් නොවන අනතුරුවලින් සිදුවන හානිය අවම කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පුළුල් වැඩපිළිවෙලේ එක් කොටසක් බව ද අමාත්‍යවරයා කියා සිටියේය. 

අද සිට ක්‍රියාත්මකවන පරිදි බස් රථවල රියදුරන් ආරක්ෂිත ආසන පටි පැලඳීම අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිසම මීට පෙර දැනුම් දුන්නේය. එහි සභාපති ඉංජිනේරු පී.ඒ.චන්ද්‍රපාල මහතා සඳහන් කළේ, එසේ නොකරන රියදුරන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවය.

මෝටර් රථ පනතේ ප්‍රතිපාදන අනුව 2011 ඔක්තෝබර් මස 01 දින සිට වාහන රියදුරන් ආරක්ෂිත ආසන පටි පැලඳීමේ නීතිය ක්‍රියාත්මකය.

ගැසට් නිවේදනයක් මගින් එම නීතිය ප්‍රකාශයට පත්කෙරුණ ද බොහෝ රියදුරන් ආරක්ෂිත ආසන පටි නොපැළඳීම හමුවේ සිදුව ඇත්තේ දිනෙන් දින රිය අනතුරු ඉහළයෑමකි.