ඉන්ධන ලබාගන්න යළිත් QR ක්‍රමයක්.. ඇමතිගෙන් දැනුම්දීමක්..
ජාතික ඉන්ධන අවසර පත් 'කිව්ආර්' ක්‍රමවේදය ඉදිරියේ දී තවත් උසස් තාක්ෂණික ක්‍රමවේදයන් සමඟ වැඩිදියුණු කර දත්ත එක්කිරීම සහ දත්ත විශ්ලේෂණය වෙනුවෙන් භාවිත කරන මෙවලමක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
කිව්ආර් ක්‍රමවේදය පසුගිය වසරේ හදුන්වාදීමේ අරමුණ වූයේ, ඒ අවස්ථාවේ පැවති ඉන්ධන අර්බුදය සහ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස පැවති සම්පත් කළමනාකරණය කරමින් බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කිරීමට බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දෙන්නේ.
එමඟින් පැවති සමාජයීය සහ ආර්ථික ගැටලු කළමනාකරණය කර, ඇතිව තිබූ අර්බුදයන් අවසන් කිරීමටත් ජන ජීවිතය ස්ථාවර කර ගැනීමටත් හැකිවූ බවයි කංචන විජේසේකර අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
පෙරේදා දින වන විට කිව්ආර් ක්‍රමවේද පද්ධතියේ ලක්ෂ 65ක් ඉක්මවූ පිරිසක් සහ රථ වාහන සංඛ්‍යාවක් ලියාපදිංචිය සහ එම පද්ධතිය හරහා ඉන්ධන බෙදා හැරීමේ ගනුදෙනු ලක්ෂ 3,500ක් ඉක්මවා සිදුකර තිබේ.
කංචන විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, කිව්ආර් කේතය තවදුරටත් අවශ්‍ය නොවන්නේ, පසුගිය කාලය තුළ රජය විසින් ගත් ප්‍රතිපත්ති තීරණ, හඳුන්වාදුන් ඉන්ධන මිල සූත්‍රය, ඉන්ධන වෙළෙඳපොළට නව බෙදුම්කරුවන් එකතු වීම යන කරුණු මඟින් ඉන්ධන ආනයනයට අවශ්‍ය මූල්‍ය අවශ්‍යතාවන් කළමනාකරණය වී ඇති බැවින් බවයි.
මේ අතර, සැප්තැම්බර් මස පළමු වන දින සිට ඉන්ධන මිල ඉහළ දැමීම සමඟ එළවළු ගොවීන් ද දැඩි දුෂ්කරතාවකට පත්ව සිටී.
මේ වනවිට එළවළු මිල පහත වැටී ඇති බැවින් ප්‍රවාහන ගාස්තු ඉහළ යාමත් සමඟ තවදුරටත් තමන් ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ දී සිටින බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.
මේ අතර, ඉන්ධන මිල වැඩිවීමත් සමඟ ඉහළ දැමුණු බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ව ඇත.
ඩීසල් මිල ඉහළ යාමත් සමඟ සියයට 04කින් බස් ගාස්තු ඉහළ දැමීමට තීරණය කෙරුණු අතර, අවම බස් ගාස්තුවේ සංශෝධනයක් මෙවර සිදුනොවන බවයි ජාතික ගමනාගමන කොමිශන් සභාව සඳහන් කළේ.