අද සිට ක්‍රියාත්මක පරිදි බදු වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි..! එක් එක් ක්ෂේත්‍ර සඳහා බදු වැඩි වන අයුරු

Ranil Wickremesinghe Sri Lanka Economic Crisis Sri Lanka Government Gazette Sri Lanka Government New Gazette
By Sithumi Jun 01, 2022 09:01 AM GMT
Report

පාර්ලිමේන්තු අනුමැතියට යටත්ව වැට් බදු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මෙය නිකුත් කර ඇති අතර එය අද සිට ක්‍රියාත්මකයි.

එම ගැසට් නිවේදනය මගින් ආනයනික භාණ්ඩ හැර අනෙකුත් භාණ්ඩ හා සේවා ආනයන සහ සැපයුම් මත සියයට 8 සිට සියයට 12 දක්වා එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද වැඩි වනු ඇති.

ඒ යටතේ පුද්ගල ආදායම් බදු සහනය රුපියල් මිලියන තුනේ සිට මිලියන 1.8 දක්වා අඩු කිරීමට යෝජිතයි. ආදායම් මත බදු කාණ්ඩ මිලියන තුනේ සිට මිලියන 1.2 දක්වා අඩු කිරීම සහ එක් බදු කාණ්ඩයකට සියයට හතරේ සිට 32 දක්වා බදු අනුපාත පැනවීමටත් යෝජනා කර තිබෙනවා.

මෙම නව බදු සංශෝධනයත් සමග දුරකථන සහ අන්තර්ජාල ගාස්තු ඉහළ යාමට නියමිතයි. කෙසේ වෙතත්, එහි මිල ගණන් මේ වන තුරුත් ප්‍රකාශයට පත් කර නැහැ.

ඊයේ සිදුකළ බදු සංශෝධනයේ අඩංගු ඇතැම් කාණ්ඩයන් වහාම ක්‍රියාත්මක කළ හැකි අතර, ඇතැම් සංශෝධන ප්‍රමාණයන් තීරණය කිරීම සදහා දින කිහිපයක් ගත වනු ඇති. එමෙන්ම ඊට අදාළව පාර්ලිමේන්තුවේ අනුමැතිය ද ගත යුතු වනවා.

විදුලි සංදේශ බදු ඊයේ සිට තීරණය කෙරුණේ සියයට 11.25 සිට සියයට 15ක් දක්වා වැඩි කිරීමටයි. වැට් බදු සංශෝධනය පාර්ලිමේන්තු අනුමැතියට යටත්ව ගැසට් නිවේදනයක් නිකුත් කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ඇති අතර, ඔක්තෝම්බර් 1 වන දා සිට සහ අප්‍රේල් 1 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ක්‍රියාමාර්ග කිහිපයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊයේ සිදුකළ බදු සංශෝධන මගින් මධ්‍යම පාන්තිකයන්ට වැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

දේශීය ආදායම් බදු කොමසාරිස්වරුන්ගේ සංගමය අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවමින් සදහන් කළේ 2019 වසරේ සිදුකළ බදු සංශෝධන මගින් පසුගිය වසර දෙක තුළ රජයට අහිමි වූ රුපියල් ටි්‍රලියන 1.8ක ආදායම අය කර ගැනීම මෙමගින් අපේක්ෂිත බවයි.

ඊයේ සිදුකළ බදු සංශෝධනයන්ට අනුව පුද්ගල ආදායම් බදු සහනය රුපියල් මිලියන තුනේ සිට මිලියන 1.8 දක්වා අඩු කෙරුණා. ආදායම් මත බදු කාණ්ඩ මිලියන තුනේ සිට මිලියන 1.2 දක්වා අඩු කිරීම සහ එක් බදු කාණ්ඩයකට සියයට හතරේ සිට 32 දක්වා බදු අනුපාත පැනවීමටත් යෝජනා කර තිබෙනවා.   

වෘත්තිකයන් වැනි පුද්ගලයන් වෙත සිදුකරන මසකට රුපියල් ලක්ෂය ඉක්මවන සේවා ගෙවීම් මත රඳවාගැනීමේ බද්දක් පැනවීමටද අපේක්ෂිතයි.

සූදු ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම සම්බන්ධ වාර්ෂික බද්දක් ද රුපියල් මිලියන 200 සිට රුපියල් මිලියන 500 දක්වා වැඩි කිරීමටයි යෝජනා කර ඇත්තේ.

ඔට්ටු ව්‍යාපාර සම්බන්ධයෙන් වන වාර්ෂික බද්ද අනු නියෝජිතයෙකු මගින් සිදු කරන අවස්ථාවකදී අය කරන වාර්ෂික බදු මුදල රුපියල් මිලියන පහ දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now