ඉන්දියන් සාගරයේ ආරක්ෂාවට අලුත් අභියෝග
ඉන්දියන් සාගර කලාපයේ පොදු සහ නව ආරක්ෂක අභියෝගවලට සාර්ථකව මුහුණදීම සඳහා සාමාජික රටවල් අතර සංවාදය, අන්‍යෝන්‍ය සහයෝගීතාව සහ සාමූහික ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අවධාරණය කර තිබේ.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (25) මාලදිවයිනේ මාලේ නුවර පැවති කොළඹ ආරක්ෂක සමුළුවේ (Colombo Security Conclave - CSC) අටවැනි ජාතික ආරක්ෂක උපදේශකවරුන්ගේ (NSA) රැස්වීමට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා, කලාපීය ආරක්ෂාවට බලපාන ප්‍රධාන අභියෝග කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කළේය.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන 'රටම එකට' ජාතික මෙහෙයුම පිළිබඳව කරුණු පැහැදිලි කළ ඒ මහතා, මත්ද්‍රව්‍ය සැපයුම් ජාල අඩපණ කිරීම සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද සඳහන් කළේය.
එමෙන්ම නීතිවිරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ ධීවර කටයුතු (IUU Fishing) මැඩපැවැත්වීම සඳහා ඒකාබද්ධ නිරීක්ෂණ කටයුතු සහ තොරතුරු හුවමාරුව පුළුල් කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.
මුහුද යට පිහිටි සන්නිවේදන කේබල් පද්ධති ආරක්ෂා කිරීම සඳහා කලාපීය මට්ටමේ ඒකාබද්ධ ප්‍රතිචාර යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ද ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කර තිබේ.
මෑතකදී ඇති වූ 'දිට්වා' සුළි කුණාටුවෙන් ලද අත්දැකීම් ද සිහිපත් කළ ඒ මහතා, පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණ වැඩිදියුණු කිරීම, හදිසි අවස්ථාවලදී ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
සමුද්‍රීය ආරක්ෂාව, ත්‍රස්තවාදය හා අන්තවාදය මැඩපැවැත්වීම, ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ මැඬලීම සහ සයිබර් ආරක්ෂාව යන ක්ෂේත්රවල ප්‍රායෝගික සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ද ඔහු යළිත් තහවුරු කළේය.
සාමකාමී, ආරක්ෂිත සහ සෞභාග්‍යමත් ඉන්දියන් සාගර කලාපයක් ගොඩනැගීම සඳහා සාමාජික රටවල් සතු සාමූහික වගකීම සිහිපත් කළ ආරක්ෂක ලේකම්වරයා, සමුළුව පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබාදුන් මාලදිවයින් රජයට සිය ස්තුතිය ද පළ කළේය.
මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික බුද්ධි ප්‍රධානී, විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියානු සහ සාර්ක් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් වරුණි මුතුකුමාරණ මහත්මිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චින්තක අබේකෝන් මහතා ද සහභාගී වූහ.