සෑම රුපියල් 100කින්ම රුපියල් 85ක් රජය ණයට ගන්නවා - නාමල් රාජපක්ෂ
රජය සංවර්ධන කටයුතු සඳහා වැය කරන සෑම රුපියල් 100කින්ම රුපියල් 85ක් ණය වශයෙන් ලබාගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ අනුව රජය දේශීය ආදායම් සහ ඉතිරි කරගත් මුදල් යොදාගෙන සංවර්ධන කටයුතු සිදුකරන බවට කරන ප්‍රකාශ යථාර්ථයෙන් තොර බවද ඔහු සඳහන් කළේය.
අද (14) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
අයවැයේ සඳහන් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන්කර ඇති රුපියල් බිලියන 1,750ක මුදලින් රුපියල් බිලියන 1,493ක් ණය වශයෙන් ලබාගැනීමට නියමිත බව පෙන්වා දුන් නාමල් රාජපක්ෂ මහතා, තවත් කොටසක් ආධාර වශයෙන් ලැබෙන බවත්, ඉතිරි කොටස රාජ්‍ය ආදායමෙන් සපුරා ගන්නා බවත් පැවසීය.
එමෙන්ම රජය අමාත්‍යාංශ සඳහා වෙන්කරන මුදල් නිසි පරිදි වැය නොකර ඉතිරි කරගැනීම භාණ්ඩාගාරය පිරවීමක් ලෙස හඳුන්වාදීම සාධාරණ නොවන බවද ඔහු චෝදනා කළේය.
අමාත්‍යාංශවලට ලබාදෙන මුදල් ජනතාවගේ සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් යෙදවිය යුතු බවත්, ග්‍රාමීය මාර්ග, බෝක්කු ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා එම මුදල් භාවිත කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
මේ අතර, වත්මන් ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය විවේචනය කළ මන්ත්‍රීවරයා, ආර්ථික වර්ධන වේගය අඩුවීම, උද්ධමනය ඉහළ යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම සම්බන්ධයෙන්ද අදහස් පළ කළේය.
ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ධනවත් ව්‍යාපාරිකයන්ට වැඩි වාසි සැලසෙන අතර සාමාන්‍ය ජනතාවට සහ කුඩා ව්‍යාපාරිකයන්ට ප්‍රමාණවත් සහනයක් නොලැබෙන බවද ඔහු කියා සිටියේය.
විදේශ ආයෝජකයන් රට තුළ රඳවා ගැනීමට සහ නව ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට රජයට පැහැදිලි වැඩපිළිවෙළක් අවශ්‍ය බව පෙන්වා දුන් ඔහු, ආයෝජකයන් සහ ඔවුන්ට සහාය දෙන රාජ්‍ය නිලධාරීන් සැකයෙන් බැලීමෙන් ආයෝජන ක්‍රියාවලිය අඩාල වන බවද සඳහන් කළේය.
එමෙන්ම ගොවි ජනතාවට, ධීවර ජනතාවට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන සැලසීම, විදුලිබිල හා ඉන්ධන මිල අඩු කිරීම සහ රැකියා අවස්ථා වැඩි කිරීම සඳහා අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ලෙසද නාමල් රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.