මීගමුව බන්ධනාගාර ගැටුම - රැඳවියන් නිලධාරීන් ප්‍රාණ ඇපයට ගෙන කැරැල්ල ආරම්භ කළ බවට පොලිස් අනාවරණය

Negombo Prisons in Sri Lanka Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 08, 2026 01:41 PM GMT
Report

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩ ගැටුම ආරම්භ වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් රැඳවියන් ප්‍රාණ ඇපයට ගැනීමෙන් අනතුරුව බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි මීගමුව මූලස්ථාන පොලිසිය පවසයි.

පොලිසියට අනුව, රැඳවියන් 50 දෙනෙකුට පමණ සිය ඥාතීන් හමුවීමට අවස්ථාව ලබාදෙන ලෙස කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර අධිකාරිවරයාගේ අනුමැතියෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු පමණ රැඳවියන් රැගෙන ඒම සඳහා බන්ධනාගාරය තුළට ගොස් ඇති අතර, එහිදී රැඳවියන් කලහකාරී ලෙස හැසිරෙමින් නිලධාරීන්ට පහරදී ඔවුන් ප්‍රාණ ඇපයට ගෙන තිබේ.

එම නිලධාරීන් මුදා ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කළ අතර, එහිදී බන්ධනාගාරය තුළින් වෙඩි හඬ ඇසුණු බව පොලිසිය සඳහන් කරයි. අනතුරුව නිලධාරීන් බන්ධනාගාරයට ඇතුළු වූ අවස්ථාවේදී දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවත් එහිදී බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් තුවාල ලැබූ බවත් පොලිසිය පවසයි.

ගැටුම පාලනය කිරීමෙන් පසු තුවාලකරුවන් මීගමුව සහ කොළඹ ජාතික රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, එහිදී බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 17 දෙනෙකු මියගොස් ඇති බව මුලින් තහවුරු වී තිබේ. පසුව තවත් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වී ඇත.

තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් 24 දෙනාගෙන් 16 දෙනෙකු මීගමුව මූලික රෝහලේත්, බරපතළ තුවාල ලැබූ 8 දෙනෙකු කොළඹ ජාතික රෝහලේත් ප්‍රතිකාර ලබයි. තුවාල ලැබූ රැඳවියන් 61 දෙනාගෙන් 50 දෙනෙකු මීගමුව රෝහලේත්, සෙසු 11 දෙනා කොළඹ ජාතික රෝහලේත් ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන්, රැඳවියන් සතුව අවි පැමිණි ආකාරය සහ ඒවා භාවිතයට ගැනීම ඇතුළු කරුණු පිළිබඳව මීගමුව දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරී ආර්. එම්. ජී. ජී. රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.