වැලිකඩින් මීගමුවට ආ 89 දෙනාගේ වාර්තාවත් අධිකරණයට - මීගමුව බන්ධනාගාර නඩුවේ අලුත්ම තත්ත්වය
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු මියයාම සම්බන්ධයෙන්, එම සිද්ධිය සිදුවූ අවස්ථාවේ මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස සේවය කළ වික්‍රම ජයන්ත කුමාර මහතා අද (30) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන්නේය.
මීගමුව මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ පස්වරු 1.00ට පමණ ආරම්භ වූ සාක්ෂි විභාගය පස්වරු 3.00 පමණ දක්වා පැවැති බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.
සාක්ෂි විභාගයෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ ප්‍රධාන ජේලර්වරයාගේ සාක්ෂියේ ජාතික ආරක්ෂාවට දැඩි සංවේදී තොරතුරු ඇතුළත් වන බවයි. එම තොරතුරු ප්‍රසිද්ධියට පත්වීමෙන් රටේ ජාතික ආරක්ෂාවට බරපතළ අවදානමක් ඇතිවිය හැකි බැවින්, සාක්ෂියේ අන්තර්ගතය කිසිදු මාධ්‍යයක පළ නොකරන ලෙස අධිකරණය නියෝග කළේය.
එමෙන්ම අදාළ සාක්ෂි වාර්තාව සුරක්ෂිතව තබාගන්නා ලෙසද අධිකරණය නියෝග කර තිබේ.
මේ අතර, වැලිකඩ බන්ධනාගාරයේ සිට මීගමුව බන්ධනාගාරය වෙත පැමිණි බන්ධනාගාර පොලිස් නිලධාරීන් 89 දෙනෙකු සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කර ඇත.
කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයින් පිළිබඳ වාර්තාවක්ද බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට භාරදී ඇති අතර, නඩුවේ වැඩිදුර විභාගය ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.