මීගමුව බන්ධනාගාර සිද්ධියේ මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට

Negombo Prison Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 24, 2026 08:47 AM GMT
Report

මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා සිදුවූ සිද්ධියෙන් මියගිය පුද්ගලයන් 28 දෙනාගේ මරණ පරීක්ෂණ වාර්තා අද (24) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එම වාර්තා අනුව, මියගිය පුද්ගලයන් 17 දෙනෙකු වෙඩි වැදීමෙන් ඇති වූ තුවාල හේතුවෙන් මියගොස් ඇති අතර, තවත් 11 දෙනෙකු මොට ආයුධවලින් සිදුකළ පහරදීම් හේතුවෙන් මියගොස් ඇති බව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළාය.

මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ඉදිරිපත් කළ අදාළ මරණ පරීක්ෂණ වාර්තා විවෘත අධිකරණය හමුවේ කියවමින් මහේස්ත්‍රාත්වරිය මෙම කරුණු අනාවරණය කළාය.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ, මෙවැනි නඩු කටයුත්තකදී මරණ පරීක්ෂණ සම්බන්ධයෙන් බලය පවතින්නේ අධිකරණයට බවයි.

අධිකරණය ස්වාධීන ආයතනයක් බවත්, පොලිසිය අධිකරණය නොවන බවත් මහේස්ත්‍රාත්වරිය අවධාරණය කළාය.

ඒ අනුව මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන බවද ඇය සඳහන් කළාය. අදාළ නඩු කටයුත්ත අද පස්වරු 3.30 දක්වා කල් තබා තිබේ.