"..ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනවන්න නාවලපිටිය ජනතාව යුතුකම ඉටුකරමින් සිටිනවා.." මහින්ද කවුරුත් පුදුම කරමින් කිවුව කතාව..(VIDEO/PHOTOS)

Mahinda Rajapaksa Sri Lanka Sri Lanka Podujana Peramuna
By Sewvandhi Oct 16, 2022 10:09 AM GMT
Report

දේශපාලන වශයෙන් බෙදී වෙන් නොවී සියලු දෙනාම එක්ව කටයුතු කරන්නේ නම් අද අපේ රට තිබෙන තැනින් පියවරක් හෝ ඉදිරියට යාහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. එකමුතුව නැගිටින්නේ නම් අපට බොහෝ ජයග්‍රහණ ලබාගත හැකි බව පෙන්වාදෙන ඒ මහතා බෙදී, විරසක වී මේ ගමන ඉදිරියට යා නොහැකි බවද එකමුතුව මේ ප්‍රශ්න විසඳා ගන්නේ නම් අපට අනාගතයක් නිර්මාණය වන බවද පෙන්වාදෙයි.

ඒ වෙනුවෙන් රජය ගන්නා සෑම උත්සාහයකටම සහාය ලබාදෙන බව මහින්ද රාජපක්ෂ මහතා මුලින් අපි මේ රට තිබෙන තැනින් පියවරක් හෝ ඉදිරියට ගතයුතු බවද අනෙක් සියල්ල දෙවැනුව විසඳා ගතහැකි බවද ප්‍රකාශ කරයි. මහින්ද රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේ නාවලපිටිය නගරයේ දී ඊයේ (16) පෙරවරුවේ පැවැති ජන හමුවකට සහභාගි වෙමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නාවලපිටිය ආසන සම්මේලනය මෙහිදී පැවැති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහිින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මෙය සංවිධානය කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,


අදත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනවන්න නාවලපිටිය ජනතාව යුතුකම ඉටුකරමින් සිටින බව අපි දන්නවා. එදා දැකපු මූණු අදත් ඒ විදියටම දැක්කම ඒ සතුට තවත් වැඩිවුණා. මේ තමයි අපේ ශක්තිය. ඔබේ ඒ ශක්තිය තමයි අපටත් රටටත් තියෙන ශක්තිය. අපි රටක් විදියට බොහෝ අභියෝගවලට මුහුණ දෙමින් සිටිනවා. එක පැත්තකින් කොවිඩ් වසංගතය අවසන් වනවිට තව පැත්තකින් කඩාවැටුණු ආර්ථිකයට අපි මුහුණ දෙනවා.අපි විතරක් නෙමෙයි ලොකේ බොහෝ රටවල් අද ඔවුන්ගේ ආර්ථිකය ගැන වෙහෙසෙනවා.

ඒ වෙනුවෙන් කැපවෙමින් නව සංකල්ප ඔස්සේ ඉදිරියට යනවා. අපි මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දුන්නෙ අද ඊයේ නෙමෙයි. එදා රජ දවසේ ඉඳන් මේ රට විවිධ ආක්‍රමණ, සාගතවලට මුහුණ දුන්නා. ඒ හැම වෙලාවෙම අපි එකමුතුව නැගිටලා ඒ අභියෝග ජයගත්තා. සමහරු මේවා දන්නෙ නෑ. දැනගත්තත් කියන්නෙ නෑ. ඔවුන්ට අවශ්‍ය කාගේ හරි පිටින් තියලා මේ ප්‍රශ්නයෙන් මගෑරලා යන්න විතරයි. ඉතිං ලේසියට අල්ල ගන්නෙ අපිව. ඔවුන් මේවා අපේ පිටින් තියලා අත පිහිදගන්නවා.

ප්‍රශ්න අපේ පිට තිවුවා කියලා මේ ප්‍රශ්න අවසන් වෙන්නෙ නැහැ. දේශපාලන එදිරිවාදිකම්වලින් ඔබ්බට ගිහිල්ලා මඩ ගහනවා. එහෙම මඩ ගහන අයගේ අත්වල තමයි මුලින්ම මඩ ගෑවෙන්නෙ. ඒ නිසා ඉතිහාසය බලලා අනාගතය ගැන තීන්දුවක් ගන්න අපට අද පුළුවන් වෙන්න ඔන. ඒකට එකිනෙකාට මඩ ගහගෙන වැඩක් වෙන්නෙ නෑ. අපට වගේම ඔබටත් පහුගිය කාලේ විවිධ නින්දා අපහාසවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. සමහරු කවදාවත් වැරදි කරලා නැති අය වගේ හැසිරුණා.

දැන් ඒ අය ඉගිලෙනවා. අන්න දැන් තමයි අර කොකාගේ සුද පේන්නෙ ඉගිලෙනකොටය කියන කතාව හොඳටම තේරෙන්නෙ. සමහරු කැමති නෑ මේ රට සාමකාමී රටක් වෙනවට. තවත් සමහරු කැමති නෑ මේ රට ස්වාධීනව නැගී සිටිනවාට. ඔවුන්ට අවශ්‍ය හැමදාම නෑ.බෑ කියාගෙන ඉන්න විතරයි. අපි මේක වෙනස් කළ යුතුයි. අපිටත් වැරදුන තැන් තියෙනවා. අපි ඒක පිළිගන්නවා. හැබැයි අපට වැරදුණා කියලා උඩ පැන්න කවුරුවත් ඉතිහාසයේ වැරදි නොකරපු අය නෙමෙයි. වැරැද්දක් වුණාම අපට ඒක නිවැරදි කරන්නත් අවස්ථාවක් තියෙනවා. අපි ලජ්ජා වෙන්න ඔන වැරදි වුණ තැනම ඉදිරියට නොයා නතර වෙලා ඉන්නවා නම් විතරයි. සමහරු ඇත්ත දන්නවා. ඇත්ත දැනගෙන දන්නෙ නෑ වගේ ඉන්නවා.

අර කරපු චෝදනා ආපස්සට ගන්න බැරි ලජ්ජාවට බොරුව වෙනුවෙන්ම පෙනී ඉන්නවා. දැන් ඒ වගේ දේශපාලන වැඩ කරලා මේ රටට සෙතක් වෙන්නෙ නෑ. අපි වැඩපිළිවෙලක් හදාගෙන ඉදිරියට යෑමයි අවශ්‍යයි. හැමෝම එකතු වෙලා එක ප්‍රතිපත්තියකට රට ඉදිරියට ගෙනියනවා නම් මේ ප්‍රශ්න ගොඩක් අවසන් වෙනවා. සමහරු ඒකට කැමැති නෑ. පොදු එකඟතාවකට එන්න කිවුවම ඒක මගාරිනවා. ආණ්ඩුවෙන් ආණ්ඩුවට රාජ්‍ය ප්‍රතිපත්ති කණපිට ගහගෙන මේ රටේ අනාගතය හදන්න බෑ කියලා හැම මනුස්සයටම තේරෙනවා. හැබැයි අවාසනාවට සමහර දේශපාලඥයන්ට ඔවුන්ගේ නායකයන්ට මේක තේරෙන්නෙ නෑ.

අද රූපවාහිනිය දැම්මොත්, ගුවන් විදුලිය ඇහුවොත්, පත්තරේ කියෙව්වොත්, ෆෝන් එකෙන් සමාජ මාධ්‍යයේ උඩට පල්ලෙහාට ගියොත්, ඔබ දකින්නෙ එක්තරා කොට්ඨාසයක් වැඩිපුර පෙන්වන අපට බෑ කියන කොටස විතරයි. අපට පුළුවන් කියලා මේ ජනතාව නැගිටුවන්න කවුරුත් වැඩි බරක් තියන්නෙ නෑ. අපේ මාධ්‍ය සහෘදයන්ගෙන් මම ඉල්ලන්නෙ ඔබටත් මේ කටයුත්තෙ වගකීමක් තියෙනවා. හැම හෙළිදරව්වක්ම කරන ගමන් රට වෙනුවෙන් ඔබේ ඒ වගකීම ඉටු කරන්න. සමහරු ඉන්නවා දෝෂාරෝපණය විතරයි. ඒ අයට වගකීම් බෑ. ඒ අය බලන්නෙ හැමදාම ඒ විදියටම ඉන්න. අන්න ඒ අය නිතර ගිනි අවුලනවා.

අවබෝධයක් නැතිව සමහරු ඒවාට හවුල්වෙනවා. ඔවුන් කැමති රට කරන්න නෙමයි ගිනි තියන්න. ඔබට මතක නම් අමාරුම වෙලාවේ රට භාරගෙන කරන්න කිවුවම කවුරුවත් ඒ අභියෝගය භාර ගත්තෙ නෑ, ඒ අය කිවුවේ නොයෙක් අඩුපාඩු නිවැරදි කරන්න උවමනායි කියලා. හැම අඩුපාඩුවක්ම නිවැරදි කරන්න පුළුවන් නම් ආයේ තව අය හොයනවා ද ? මේ අය හිතනවා සියල්ල හදලා බන්දේසියක තියලා එයාලට දෙන්න ඔනි කියලා. ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ඕන නෑ. පාසල් යන ළමයෙක්ගෙන් ඇහුවත් දන්නවා ඉතා මෑතක වැඩි පොළියට වැඩිම විදෙස් ණය ප්‍රමාණයක් අරගෙන තියෙන්නෙ කොයි කාලෙ ද කියලා.

යහපාලන කාලේ කරපු ඒ වැඩ සමහරු අපට දාන්න හැදුවා. හැබැයි දරන්න බැරි ණය එක්ක හරි රට භාරගන්න කියලා ජනතාව කිවුවම අපි ඒක කරන්න බෑ කියලා කේවල් කරේ නෑ.ජනතා ඉල්ලීමට අපි ඇහුම්කම් දුන්නා. හැබැයි අපි වරදක් කළා. ඒ අය අපට දුන්නෙ මේ වගේ රටක් කියලා අපි වැඩිය ප්‍රසිද්ධ කළේ නෑ. කොවිඩ් ආවම එන්නතට යන මුදලට වඩා අපි හිතුවේ ජනතාවගේ ජීවිත ගැන. දියුණු රටවල්වල පවා මිනිස්සු කොච්චර මැරුණ ද ? නමුත් ලංකාවේ එවැනි තත්ත්වයක් ඇත්වෙන්න අපි ඉඩ දුන්නෙ නෑ. අපි ඔබත් ඔබේ දරුවන්ගෙත් ජීවිත ආරක්ෂා කළා. සමහරුන්ට මේවා අද අමතකයි. අද කොවිඩ් අභියෝග ජයගෙන ආපහු හැරිලා බලනකොට ආර්ථික අර්බුදය බෙල්ල ගාවට ඇවිත්.

ඒ අර්බුදයටත් අකමැත්තෙන් වුණත් අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ජනතාව මේවා දැනගත යුතුයි. සමහර ප්‍රශ්න අපට බාහිරෙන් ආපු ප්‍රශ්න. මිනිස්සුන්ට ජීවත්වෙන්න අමාරුවුණාම එන වේදනාවත් සමහරු හයිජැක් කළා. වේදනාව විකුණලා ඩොලර් හම්බ කරා. අද ඒ බොහෝ කතාවල බළලා මල්ලෙන් එළියට පැනලා ජනතාව ඇත්ත දැනගෙන තියෙනවා. ඒ නිසා ජනතාවට කියන්න තියෙන්නෙ ඔය උසිගන්වන අයගෙන් පරිස්සම් වෙන්න. මොකද ඒ අය ඇවිත් ගෙදර බත් මුට්ටියත් අරන් යන්න පුළුවන්. පක්ෂයක් විදියට බැලුවම අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට ඉතිහාසයේ බොහෝ ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. අප අමතක කළයුතු නැහැ ඒ හැම ජයග්‍රහණයක්ම පිටුපස සිටියේ ඔබ වැනි ආදරණීය ජනතාවක්.

මේ ගමනේ දී බලාපොරොත්තු නොවුණ විදියට සමහර තැන්වල අපි වැටුණා. හැබැයි අපි වැටුණ තැන්වලින් නැගිටලා අපේ අරමුණට යන්න ඔනි. සමහරු වැටුණම හිනාවෙයි. උසුලු විසුලු කරයි. හැබැයි අපි වැටුණ තැනින් නැගිටලා දුවලා ජයගන්න කොට ආයෙත් විසිල් ගහලා අපිව පිළිගන්නෙ එදා අපට හිනාවුණ අයම බව අමතක කරන්න එපා. එහෙම නම් අපි බලාපොරොත්තුවක් නැතිව වැටිලා ඉන්න ඔනි ද ? නෑ අපි වැටිලා ඉන්න ඕන නෑ. එකමුතුව නැගිට්ටොත් අපට බොහෝ ජයග්‍රහණ ලබාගන්න පුළුවන්. අපට බෙදිලා, විරසක වෙලා මේ ගමන ඉදිරියට යන්න බෑ. එකමුතුව මේ ප්‍රශ්න විසඳගන්නතාක් අපට අනාගතයක් නිර්මාණය වෙනවා. ඒ වෙනුවෙන් රජය ගන්න සෑම උත්සාහයකටම අපි සහය දෙනවා.

මුලින් අපි මේ රට තිබෙන තැනින් පියවරක් හෝ ඉදිරියට ගමු. ඒ සඳහා එක්ව වැඩකරමු. අනිත් ඔක්කොම දෙවැනුව අපට විසඳගන්න පුළුවන්. විශේෂයෙන් දරුවන්ගේ පෝෂණය ගැන අපි සැළකිලිමත් වෙන්න ඔනි. ඔවුන් තමයි අපේ රටේ අනාගතය. ඒ වෙනුවෙන් විශේෂ සැළකිල්ලක් යොමු කරන්න අවශ්‍යයයි. ඒ වගේම ජනතාව මත පැටවෙන ජීවන බර අඩු කරන්න හැකි සෑම පියවරක්ම ගන්න කියන ඉල්ලීම අපි දැනටමත් සාකච්ඡාවට ලක්කර තිබෙනවා. ඒ සඳහා අපි පක්ෂයක් විදියටත් මැදිහත්වෙලා තියෙනවා. ඒ නිසා ඇතැම් තීන්දු කොතරම් දුෂ්කරතා මැද්දේ වුණත් ජනතාවට වාසි සහගත ලෙස තබාගන්න අපට හැකිවුණා. මේවා ජනතාව දන්නවා. ඒ නිසා අපි අද නාවලපිටියේ දී මේ විදියට ඔබ තමුන්නාන්සෙලා හමුවෙලා......අපි එක්ව නැගිටිමු කියන යෝජනාව මුළු රටටම ඇහෙන්න කියනවා.

කෘෂිකර්මාන්තය වේවා, සංචාරක ව්‍යාපාරය වේවා, තේ හෝ රබර් කර් මාන්ත වේවා, වෙනත් කර් මාන්ත වේවා, ඔබ නිරත ඔනෑම වෘත්තියක් වේවා, විදෙස්ගත ලාංකිකයන් වේවා, දේශපාලඥයන් වේවා මේ සියලු දෙනාට අද අවස්ථාව තියෙනවා එක්ව මේ රට ගොඩනගන්න. අන්න ඒ වෙනුවෙන් අපි පෙළගැසෙමු. නාවලපිටියේ මේ ජනතාව ඒ ඓතිහාසික තීන්දුවේ පංගුකාරයන් වන බව අපට විශ්වාසයි. ඔබේ ඒ ශක්තිය රටට දෙන්න කියන ඉල්ලීම ඉදිරිපත් කරමින්, මේ අවස්ථාව සංවිධානය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නායක අපේ හිතවත් මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාටත්, මේ සඳහා සහය දුන් අපේ පක්ෂයේ සියලු දෙනාටත් මගේ ප්‍රණාමය පුද කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery