නාමල්ගෙන් ආණ්ඩුවට රට පුරා ප්‍රහාරයක් - ‘ගමින් ගමට’ සටන ලබන සතියේ ඇරඹේ

SLPP Namal Rajapaksa Latest Headlines Sinhala news Colombo politics heat up
By R.rishma Oct 21, 2026 12:03 PM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ‘ගමින් ගමට’ කොට්ඨාස රැස්වීම් මාලාව ලබන සතියේ සිට ආරම්භ කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අද (21) පාර්ලිමේන්තුවේදී එම පක්ෂයේ ජාතික කැඳවුම්කරු ඩී. වී. චානක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ යන මහත්වරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ආණ්ඩුවට එරෙහිව දැඩි විරෝධයක් පවතින බවත්, මර්දනකාරී ක්‍රියාමාර්ග හරහා රට පාලනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළේය.

ඒ අනුව, ගමින් ගමට ගොස් වත්මන් ආණ්ඩුවේ අසාර්ථකත්වය පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙස ඔහු පක්ෂ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය. කොට්ඨාස මට්ටමින් රැස්වීම් කඩිනමින් පවත්වන ලෙස ආසන සංවිධායකවරුන් තමන්ගෙන් ඉල්ලීම් කරන බව ද ඔහු සඳහන් කළේය.

මේ වන විට මෙරට උද්ධමනය සියයට 8ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඊට මුහුණදීම සඳහා ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක් නොමැති බවත් නාමල් රාජපක්ෂ මහතා චෝදනා කළේය.

එමෙන්ම, ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සහ මහා සංඝරත්නයට හා බෞද්ධ ජනතාවට සිදුවන බව කියන පීඩාවන් පිළිබඳව ද ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.