නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන විශේෂ හෙළිදරව්වක් කරයි..

Namal Rajapaksa Cricket Sri Lanka Cricket Sri Lanka ICC World Cup 2023
By Aruna Nov 12, 2023 10:47 AM GMT
Report

ක්‍රිකට් පරිපාලනයේ හා දේශපාලඥයන්ගේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසදාගත යුතුබවත් එසේ නොවුනහොත් අවසානයේදී අපහසුතාවයට හා අගතියට පත්වන්නේ ක්‍රීඩකයින් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

තමන් ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි කාලයේදී පරිපාලන ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත් බවත්, එසේ කලේ ක්‍රීඩාව සහ ක්‍රීඩකයින්ගේ අනාගතය ගැන සිතා බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

මෙම දේශපාලන හා ක්‍රිකට් පරිපාලනය ගැටීම නිසා ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් තහනම් කර ඇති බවත් මෙසේ ක්‍රීඩා තහනම නිසා වාර්ෂිකව ඍජු හා වක්‍රව ඩොලර් මිලියන 100ක් පමණ රටට අහිමිවන බවයි ඔහු අවධාරණය කළේ.

ඒ් මහතා අවධාරණය කළේ, විශේෂයෙන්ම ආණ්ඩුවේ අභ්‍යන්තර පරිපාලන ගැටළු නිරාකරණය කර ගැනීමට ක්‍රීඩාව පාවිච්චි නොකළ යුතු බවයි.

පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රීඩාව පාවිච්චි නොකල යුතු බවත් ප්‍රශ්න තිබෙනවානම් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත යුතු බවත් නැතිනම් විනාශ වී යන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව හා ක්‍රීඩකයින් බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියා.

පසුගිය කාලයේදී රග්බි හා පාපන්දු පරිපාලනය හා දේශපාලඥයන් අතර ගැටුම් ඇතිවූ බවත් එමගින් සිදුවූයේ එම ක්‍රීඩාවන් තහනම් වීම බවත් හෙතෙම ප්‍රකාශ කළේ.

නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, එමනිසා දේශපාලනය හා ක්‍රීඩා පරිපාලනය අතර ගැටුම්වලින් වෙන්නේ අනර්ථයක් බවත් පසුගිය කාලයේ සිදුවූ කරුණු කාරණා අනුව එය අවබෝධ කර ගැනීම අපහසු නොවන බවයි.