2022 අවසන් වීමට පෙර මෙරට සෑම පුරවැසියෙකුටම ලැබෙන දේ මෙන්න..-නාමල් රාජපක්ෂ.

Technology Mahinda Rajapakshe Namal Rajapakshe Gotabaya Rajapakshe Digital ID card
By Aruna Feb 18, 2022 01:15 AM GMT
Report

2022 වසර අවසන් වීමට පෙර රටේ සෑම පුරවැසියෙකුටම ඩිජිටල් හැඳුනුම්පතක් ලබාදීමේ පසුබිම සැකසෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ග්‍රාම නිලධාරීවරයාගේ සිට ජනාධිපති ලේකම් දක්වා රාජ්‍ය ක්‍රියාවලිය ඩිජිටල් තාක්ෂණයෙන් බද්ධ කෙරෙන අතර ජනාධිපතිවරයා ලබාදී ඇති ඉලක්ක සපුරාලමින් ඉදිරි මාස 30 තුළ සියලු සේවා කටයුතු විද්‍යුත් තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවයි ඔහු කියාසිටියේ.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ගාල්ල, වලහන්දූව ප්‍රදේශයේ ඉදිකෙරෙන “Galle Techno Park” (තාක්ෂණ උද්‍යානය) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ඊයේ පස්වරුවේ ලක්වූ අවස්ථාවට එක්වෙමින්.

තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් (Cultural Technological Innovation) ගොඩනැගීම අරමුණු කරගනිමිනුයි දිවයින පුරා “තාක්ෂණ උද්‍යාන” පහක් ඉදිකිරීමට රජය සැලසුම් කර ඇත්තේ.

ශ්‍රී ලංකාව තාක්ෂණික නවෝත්පාදනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපනය කිරීම, විදේශ ආයෝජන ආකර්ෂණය, දියුණු තාක්ෂණයෙන් යුත් නව සමාගම් දිරිමත් කිරීම, අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත ප්‍රවර්ධනය, නව රැකියා අවස්ථා ඇති කිරීම, දැනුම බෙදාහැරීම, අදාළ ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ විදේශ විනිමය ඉපැයීමෙන් ජාතික ආර්ථික සංවර්ධනයට දායක වීම මෙමගින් අපේක්ෂා කෙරෙනවා.

ගාල්ල, කුරුණෑගල, මහනුවර, නුවරඑළිය සහ හබරණ යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම තාක්ෂණ උද්‍යාන ඉදි කිරීමට නියමිතයි.

ගාල්ල, වලහන්දූව තාක්ෂණ උද්‍යාන භූමියට ඊයේ (17) පස්වරුවේ පැමිණි ජනාධිපතිවරයා ව්‍යාපෘති පුවරුව විවෘත කර වැඩ භූමිය නිරීක්ෂණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

අනතරුව ගාල්ල තාක්ෂණ උද්‍යානයේ නිල ලාංඡනය එළි දැක්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

අක්කර 30ක පමණ වපසරියක විහිදෙන තාක්ෂණ උද්‍යානයේ ඉදිකිරීම් 2023 වසර මැද වන විට නිම කිරීමටයි තාක්ෂණ අමාත්‍යාංශය බලාපොරොත්තු වන්නේ.

5G සන්නිවේදනය සහිත නවීන තාක්ෂණික පහසුකම්, නැනෝ පර්යේෂණ ආයතන, විනෝදාස්වාද ක්‍රියාකාරකම්, තෝරාගත් ස්ථානවල ස්වභාවික පරිසරය හා මුසු වූ ක්‍රීඩා මෙන්ම මානසික හා ශාරීරික විවේක මධ්‍යස්ථානවලින් “තාක්ෂණ උද්‍යානය” සමන්විත වනවා.

ගාල්ල තාක්ෂණ උද්‍යානය ඉදි වීමත් සමග සෘජු රැකියා අවස්ථා 2,000ක් පමණ සහ වක්‍ර රැකියා අවස්ථා රැසක් බිහිවන බව වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ උත්සව සභාව පිළිගනිමින් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම අධ්‍යාපන සහ තාක්ෂණ ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතියට මෙම ව්‍යාපෘතියෙන් දැවැන්ත දායකත්වයක් සැපයෙන බවයි ඔහු පෙන්වා දුන්නේ.

නව තාක්ෂණ උද්‍යාන ඉදිරියේ දී මෙරට ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන ධාවකයක් බවට පත්වනු ඇතැයි තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now