කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් සිදුකළ නාමල්

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Nov 02, 2022 05:00 PM GMT
Report

 කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් සිදුකළ බවට ලද පැමිණිල්ලකට අනුව දූෂණ විරෝධී පෙරමුණේ මෙයෙහුම් අධ්‍යක්ෂ නාමල් කුමාරව වරකාපොල පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරව පුටුවක බැඳ සිටින අයුරු දැක්වෙන රූප රාමු පෙළක්ද මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

එහි දැක්වෙන්නේ නාමල් කුමාර තමන්ට ලිංගික අඩත්තේට්ටම් සිදුකළ බව පවසමින් කාන්තාවක් ඔහුට බැන වදින ආකාරයයි. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ, කාන්තාවක් වරකාපොළ පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව නාමල් කුමාරව අත්අඩංගුවට ගෙන වාරකාපොළ රෝහලට ඇතුළත් කළ බවය.

එම කාන්තාව පොලීසිය හමුවේ පවසා ඇත්තේ නාමල් කුමාර තම නිවස තුළට පැමිණ තමන්ට ලිංගික අඩත්තේට්ටම් සිදුකළ බවය. අනතුරුව තමන් නාමල් කුමාර නිවස තුළ සිට පිටතට ඇදගෙන විත් ගසක ගැට ගසා පහරදුන් බව ද ඇය පොලීසියට පවසා තිබේ.

පොලීසිය පැවසුවේ පසුව තවත් පුද්ගලයන් සිව්දෙනෙකු ද නාමල් කුමාරට පහරදී ඇති බවය. අදාළ කාන්තාව අනතුරුව නාමල් කුමාර තමන්ට ලිංගික අඩත්තේට්ම් කළ බව පවසමින් වරකාපොළ රෝහලට ඇතුළත් වී ඇති අතර පසුව පිටව ගොස් තිබේ.

මේ අතර නාමල් කුමාර ද වරකාපොළ පොලීසියට පැමිණිල්ලක් ගොනු කළ බව පොලීසිය සඳහන් කළේය. ඔහු එමගින් පවසා ඇත්තේ තමන් බිරිඳ ද සමග වරකාපොල නගරයට ගිය අතර අනතුරුව නීති විරෝධී මත්පැන් අලෙවිකරණ නිවසක් සම්බන්ධයෙන් ඔත්තු බැලීමට වාරියගොඩ ප්‍රදේශයට ගිය බවය.

එහිදී අදාළ කාන්තාව ඇතුළු පිරිසක් එක්ව තමන්ට පහරදුන් බව ද ඔහු පොලීසියට පවසා තිබේ. එමෙන්ම තමන්ට ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හා වාරකාපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රදේශයේ සිදුවන නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ඔත්තු බැලීමට පවසා ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ.

කෙසේවෙතත් පොලීසිය පැවසුවේ තමන්ට කිසිදු දිනකදී නාමල් කුමාර ඔත්තුවක් ලබාදී නොමැති බවය. මේ අතර නාමල් කුමාරට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අදාළ කාන්තාව හා ඇයගේ අනියම් සැමියා ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව සැකකරුවන් පිරිස අද වරකාපොල පොලීසිය විසින් වරකාපොල අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නාමල් කුමාර හා ඔහුට පහර දුන් පිරිස ඇප මත මුදාහැරුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now