සාවද්‍ය තොරතුරුවලට වැට බැඳීමට අමාත්‍යවරුන් කාදිනල් හිමියන් හමුවෙයි

Latest Headlines Harshana Nanayakkara Nalinda Jayatissa Sinhala news Puwath.lk
By R.rishma Aug 06, 2026 01:28 PM GMT
Report

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද (06) කොළඹ අගරදගුරු මැදුරේදී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක විශේෂ සාකච්ඡාවක නිරත වූහ.

රටේ මේ වන විට පුළුල් සමාජ අවධානයට ලක්ව ඇති අධිකරණ හා බන්ධනාගාර ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය, එහි පවතින අභියෝග සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව කාදිනල් හිමිපාණන් දැනුවත් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වී තිබේ.

එමෙන්ම, අදාළ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජගත වන බව පෙන්වා දෙමින්, ඒ පිළිබඳ නිවැරදි තොරතුරු පැහැදිලි කිරීම සඳහාද මෙම සාකච්ඡාව පැවැත්වූ බව සඳහන් වේ.

අධිකරණය පිළිබඳ මහජන විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීම, ජනතාවට ප්‍රමාදයකින් තොරව යුක්තිය ඉටු කිරීම සහ අධිකරණ හා බන්ධනාගාර ක්ෂේත්‍රවල පවතින ගැටලු සඳහා විසඳුම් ලබාදීම වෙනුවෙන් රජය ගෙන ඇති පියවර මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳවද අමාත්‍යවරුන් දෙපළ විසින් කරුණු පැහැදිලි කරන ලදී.

හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දූෂණ විරෝධී පනත සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

මහජන නියෝජිතයින්ගේ වත්කම් හා බැරකම් පිළිබඳ තොරතුරු දැනගැනීමට ජනතාවට ඇති අයිතිය ආරක්ෂා කරන බවත්, එම අයිතියට කිසිදු බාධාවක් ඇතිවන ආකාරයෙන් කටයුතු නොකරන බවත් අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත්, රජයේ නිලධාරීන් සහ ව්‍යවස්ථාපිත ආයතනවල නිලධාරීන්ගේ වත්කම් හා බැරකම් ප්‍රසිද්ධ කිරීමේදී ඔවුන්ගේ පෞද්ගලිකත්වයට බලපෑම් ඇතිවිය හැකි බැවින්, යෝජිත සංශෝධන එම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පමණක් සිදු කෙරෙන බවද ඔහු සඳහන් කළේය.

ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, එවැනි ක්‍රියාවලියක් සඳහා ප්‍රමාණවත් කාලයක් සහ පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටත ජනතාව අතර පුළුල් සංවාදයක් අවශ්‍ය බවයි.

එමෙන්ම, සියලු මැතිවරණ නියමිත කාලසීමාව තුළ පැවැත්වීම රජයේ අරමුණ බවත්, පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට අපේක්ෂා කරන බවත් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.