ඔසුසැලකින් දියවැඩියා රෝගියාට පිළිකා ඖෂධ දීලා - රෝගියා ජීවිතක්ෂයට..!

Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Aug 20, 2023 03:52 PM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

හොරණ ඉංගිරිය ප්‍රදේශයෙන්, ඉංගිරියේ පෞද්ගලික ඔසුසැලකින් වැරදීමකින් නිකුත් කළ ඖෂධයක් භාවිතයෙන් පසු කාන්තාවක් රෝගී වී මියගිය බවට පුවතක් වාර්තා වේ.

මෙලෙස මියගිය කාන්තාවගේ ඥාතීන් චෝදනා කරන්නේ අධි රුධිර පීඩනය සහ දියවැඩියාවෙන් පෙළුණු ඇයට එම ඔසුසැල නිකුත් කර ඇත්තේ පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධයක් බවය.

මෙසේ අවාසනාවන්ත ලෙස, මිය ගොස් තිබුණේ ඉංගිරිය ඉහළ ඌරගල පදිංචිව සිටි හැට දෙහැවිරිදි පී.එම්.සෝමවතී මහත්මිය යි.

අධි රුධිර පීඩනයෙන් සහ දියවැඩියාවෙන් කලක සිට පෙළුණු ඇය හොරණ මූලික රෝහලේ සායනයෙන් ඊට ප්‍රතිකාර ලබාගෙන තිබුණි. ඒ අනුව ඇගේ රෝග විනිශ්චය වාර්තා ද රැගෙන ඇගේ සැමියා පසුගිය 31 වනදා රෝහලේ සායනයට ගොස් තිබුණේ ඇයට අවශ්‍ය ඖෂධ රැගෙනඒම සඳහාය.

එහිදී ඇය්ට රෝහලේ සායනයෙන් ඖෂධ කිහිපයක් ලබා දී ඇති අතර නොතිබුණ ඖෂධ කිහිපයක් පෞද්ගලික ඔසුසැලකින් මිල දී ගන්නා ලෙස පවසා තිබේ.

ඒ අනුව ඉංගිරියේ පෞද්ගලික ඔසුසැලින් ලබාගත් ඖෂධ සතියක් පමණ භාවිත කරන විට සෝමවතී මහත්මියට යම් අපහසුතා හටගෙන ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මියගිය කාන්තාවගේ සැමියා වන ඩබ්ලිව්. ලීලාරත්න මහතා,

"එයාගේ කටේ තුවාල දාලා වතුරවත් බොන්න බැරුව ගියා. ඊට පස්සේ බඩ දැවිල්ල, මුත්‍රා අමාරු, බඩ යෑම ආවා. සේරම වණවෙලා දැවිල්ල හැදුණා."

මෙසේ හදිසියේම රෝගී වූ සෝමවතී මහත්මිය කඩිනමින් රෝහල්ගත කිරීමට ඥාතීන් පසුගිය 10 වනදා කටයුතු කර තිබූ අතර ඇගේ රෝගී තත්ත්වයට හේතුව අනාවරණ වී තිබුණේ ඒ අතරතුරය. ඩබ්ලිව්. ලීලාරත්න මහතා

, "මිසී කෙනෙක් බලලා තියෙනවා, මෙයාට දුන්න බෙහෙත් මොනවාද කියලා. ඒ අවස්ථාවේ තමයි මේ වැරදි බෙහෙත හඳුනාගෙන තියෙන්නේ හොස්පිටල් එකෙන්."

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පී.එම්.සෝමවතී මහත්මියගේ ලේලිය,

"ෆාමසියෙන් පිළිකාවට දෙන බෙහෙතක් තමයි අම්මට දිලා තියෙන්නේ. අම්මා සතියක් තිස්සේ ඒ බෙහෙත තමයි බීලා තිබුණා. බෙහෙත් විෂවෙලා තමයි අම්මාගේ ජීවිතේ අද අපිට නැති වුණේ."

සෝමවතී මහත්මියගේ මරණය සම්බන්ධයෙන් ඥාතීන් ඉංගිරිය පොලිසීයට පැමිණිල්ලක් සිදුකර ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. පී.එම්.සෝමවතී මහත්මියගේ දියණිය,

"නීතියෙන් කරන්න පුළුවන් දෙයක් කරන්න මහත්තයා. අපේ අම්මගේ වගේම තවත් ජීවිතනේ ඒවා එක්ක සෙල්ලම් කරන්න දෙන්න එපා."