ගමක් රත් කළ බස් වලිය - කොන්දොස්තරගෙන් ගල් ප්‍රහාර..(VIDEO)

Sri Lanka Police Nuwara Eliya Sri Lanka Police Investigation
By Sewvandhi Feb 15, 2024 01:03 PM GMT
Report

පොලීසිය විසින් පෞද්ගලික බස් රථ රියදුරෙකුට සහ කොන්දොස්තරවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 22ත් 25ත් අතරේ පසුවන ගාල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයින් පිරිසකි.ඊයේ(14) දින මෙම තරුණයින් පිරිස ගාල්ල ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණ නැවත සිය නිවෙස් බලා යාම සඳහා හැටන් දුම්රිය ස්ථානය වෙත ලංගම බස් රථයකින් ගමන්කරමින් සිට ඇත.

එහිදී එම ලංගම බස් රථයට පසුපසින් පැමිණි මස්කෙළිය සිට හැටන් දක්වා ධාවනය වන පෞද්ගලික බස් මගී ප්‍රවාහන බස් රථයක් එය පසුකර යාමට උත්සාහ දරා ඇත. ඒ අතරතුරදී පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා කුඩා මස්කෙළිය ප්‍රදේශයේදී ලංගම බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ලකර ඇති අතර ඉන් ලංගම බස් රථයේ පසුපස වීදුරුව බිඳී ගොස් තිබේ.

එම ගල් ප්‍රහාරයත් සමග මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති තරුණයින් පිරිස අතර සිටි තරුණයෙකුද තුවාල ලබා ඇති බව මේ වනවිට වාර්තා වී ඇත. ඒ සමගම බස් රථයෙන් බැස අදාළ තරුණයින් පිරිස පසුපසින් පැමිණි බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට පහරදී ඇත.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ පෞද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ. සැකකාර තරුණයින් පිරිස, පෞද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මස්කෙළිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි. එම අවස්ථාව බස් මගියෙකුගේ ජංගම දුරකථනයක පටිගතව තිබුණේ මෙලෙසින්.