නව අගමැතිවරයෙකු යටතේ අන්තර්කාලීන ආණ්ඩුවකට ජනපති එකග වුනා - හිටපු ජනපති..(VIDEO)

Parliament of Sri Lanka Gotabaya Rajapaksa Mahinda Rajapaksa Maithripala Sirisena Sri Lanka Economic Crisis
By Sewvandhi Apr 29, 2022 09:05 AM GMT
Report

නව අග්‍රාමාත්‍යවරයෙකු සමග අන්තර් කාලීන අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැමැත්ත පළ කළ බව, නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ එකොළහේ මන්ත්‍රීවරුන් පිරිස අතර සාකච්ඡාව අද (29) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා.

ඉන් අනතුරුව නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. මේ අතර, මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ද සාකච්ඡා කිරීමට තීරණය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ කියා සිටියේ.

සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට එහිදී තීරණය කළ බව ඔහු කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ ස්වාධීන පක්ෂ 11 පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ අතර ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික අර්බුදය විසඳීම සඳහා සර්ව පාක්ෂික අතුරු ආණ්ඩුවක් පිහිටුවන තුරු පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට තීරණය කරනු ලැබුවා.

සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද රජයේ සියලුම දේශපාලන පක්ෂවල රැස්වීමක් කැඳවා තිබුණා.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ රජය ඉල්ලා අස්වන ලෙස ඉල්ලා රට පුරා මහජනතාව විසින් මහා පරිමාණ මහජන විරෝධතා පැවැත්වීම ආරම්භ කිරීමෙන් පසුවයි මෙම පියවර ගැනුණේ.

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now