ඇමතිකම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ විශේෂ නිවේදනයක්.. (PHOTO)

Maithripala Sirisena Sri Lanka Politician
By krishani May 24, 2022 09:00 AM GMT
Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් අමාත්‍ය මණ්ඩලයේ තනතුරු භාරගැනීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් එම පක්ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිකුත් කර තිබේ.

පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය ලෙස එතුමා දක්වා ඇත්තේ වර්තමාන රජය තුළ අමාත්‍ය ධුර බාර නොගෙන පොදු මහජනතාවගේ යහපත වෙනුවෙන් ගන්නා තීරණ සඳහා පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටතත් සහාය ලබාදීම තම පක්ෂය තීරණය කර ඇති බවය.

නව අග්‍රාමාත්‍යවරයෙක් යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සහ එය ක්‍රියා කළ යුතු ක්‍රමවේද පිළිබඳ පුළුල් විග්‍රහයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් රටට හා රජයට යෝජනා කළ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ සංකල්ප පාර්ලිමේන්තුවේ බහුතරයක් පක්ෂ ද මැතිවරණ කොමිෂන් සභාව ද එම ක්‍රමවේද සාධනීය ලෙසින් පිළිගෙන ඇති බවත්  මහ සංඝරත්නය, නීතිඥ සංගමය, සිවිල් සංවිධාන, ව්‍යාපාරික ප්‍රජාව සහ ජාත්‍යන්තරය පවා එය පිළිගත් බව ද එම පක්ෂය පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතා සද්භාවයෙන් රට වෙනුවෙන් සංකල්පයක් ඉදිරිපත්කර තිබිය දී පාර්ලිමේන්තු පක්ෂ නායකයන්හට කරුණු නොදන්වා නැවතත් සම්ප්‍රදායික රජයක් පිහිටුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්හට අමාත්‍ය ධුර පිරිනැමීම හා අමාත්‍ය ධුර බාර ගැනීම මධ්‍යම කාරක සභාවේ හා පක්ෂයේ තීරණයට පටහැනි බවත් එම ක්‍රියාවට පක්ෂ මධ්‍යම කාරක සභාවේ කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බවත් එම පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery