මහින්ද රාජපක්ෂ පෞද්ගලික රෝහලකට - බරපතළ රෝගී තත්ත්වයක් ගැන වාර්තා ප්‍රතික්ෂේප කරයි

Mahinda Rajapaksa Namal Rajapaksa Shiranthi Rajapaksa Latest Headlines Sinhala news
By R.rishma Oct 12, 2026 05:47 AM GMT
Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ඔහු බරපතළ ලෙස රෝගාතුරව සිටින බවට හෝ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබන බවට පළ වූ වාර්තා ඔහුගේ පාර්ශ්වය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

80 හැවිරිදි හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර මට්ටමක පවතින බවත්, බරපතළ සෞඛ්‍ය ගැටලුවක් නොමැති බවත් රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයේ ආරංචි මාර්ගයක් පුවත් වෙබ් අඩවියට පවසා ඇත.

එමෙන්ම, මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ බවට සහ ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට පළ වූ මාධ්‍ය වාර්තා ද අදාළ ආරංචි මාර්ගය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

එහිදී අදහස් දැක්වූ නීතිඥ මනෝජ් ගමගේ මහතා,

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මේ අවස්ථාවේදී එතුමාට ආදරය කරන සියලු දෙනාට දැනුම් දෙනවා. මම හිතන්නේ විරුද්ධවාදීන් මේ වගේ අසත්‍ය සහ ද්වේෂසහගත ආරංචි නිතර දෙවේලේ පතුරුවා හරිමින්, මේ ආණ්ඩුවේ මර්දනකාරී ක්‍රියාමාර්ග හමුවේ එතුමා වැටිලා කියලා පෙන්වන්න උත්සාහ කරනවා.
නමුත් අපි විරුද්ධවාදීන්ට කියන්න කැමතියි, එතුමාගේ පවුලේ සියලු දෙනා සිරගත කළත්, මහින්ද රාජපක්ෂ කියන්නේ ශාරීරිකව සහ මානසිකව ඉතාමත් ශක්තිමත් නායකයෙක්. මේ වගේ පුහු සහ අසත්‍ය ප්‍රචාරවලින් එතුමා වැනි දැවැන්ත පෞරුෂයක් බිඳ දැමිය හැකි යැයි සිතනවා නම්, ඒක සතුරන්ගේ සිහිනයක් විදිහටයි මම දකින්නේ.”