ගෑස් මිල යලිත් වරක් ඉහළට..? ලිට්‍රෝ මිල ගැන එළියට ආ අලුත්ම කතාව..

Sri Lanka Litro Gas Litro Gas Price
By Sewvandhi Feb 05, 2023 09:36 AM GMT
Report

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලින්ඩරයක් රුපියල් 334කින් ඉහළ දැමෙනු ඇත.

දැනට කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 4409ක් ලෙසින් වන අතර ඉහළ යාමත් සමග එය 4743ක් වේ.

කිලෝග්‍රෑම් 5ක් බරැති ගෑස් සිලින්ඩරයක දැනට පවතින මිල වන්නේ රුපියල් 1770ක් වන අතර රුපියල් 134කින් ඉහළ දැමීමත් සමග එහි නව මිල 1904ක් බවට පත් වේ.

රුපියල් 61කින් ඉහළ දමා ඇති කිලෝග්‍රෑම් 2.3ක් බරැති ගෑස් සිලින්ඩරයේ නව මිල වන්නේ රුපියල් 883ක් වේ.

ලෝක වෙළඳපොලේ ගෑස් මිල උච්චාවචනයන් සැළකිල්ලට ගෙන මෙම සංශෝධනයන් සිදුකර ඇති බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මේ වනවිට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේ දී සඳහන් කළේ ය.

"විශේෂයෙන්ම ඉතිහාසයේ මෑත කාලයේ අපි අත්දැකපු ලෝක ගෑස් මිල වැඩිවීම මේ මාසේ දැක්කා. ගිය ඔක්තෝබර් මාසේ ඉදලා 560 කට වගේ තිබුණු ලෝක වෙළෙඳපොලේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල අද වෙනකොට ඩොලර් 791ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඩොලර් 250කට වඩා වැඩි ගාණකින් වැඩි වෙලා තියෙනවා. ගිය මාසෙත් එක්ක සාපේක්ෂව ඩොලර් 200කින් ඉහළ ගොස් තිබෙනවා. ගිය පාර මේ වගේම මිල වැඩි වීමක් වුණා. ලිට්‍රෝ ගෑස් ආයතනයට සිදුවුණා 2022 අප්‍රේල් මාසේ වගේ කාලයකදී රුපියල් දෙදාස් ගානකින් මිල වැඩි කරන්න. 2020 හෝ 2021 දී මේ වගේම රුපියල් 1300කින් වගේ මිල වැඩි කරන්න මේ තියෙන මූල්‍ය තත්ත්වයන් එක්ක විශාල මුදලකින් වැඩි කළා නම් මම හිතනවා ජනතාවට එක දරා ගන්න බැරි තත්ත්වය යයි. අද මිල සූත්‍රයට සාපේක්ෂව ලෝක වෙළෙඳපොළේ මිල අනුව අද අපි වැඩිකළ යුතු නියම මිල රුපියල් 950ක් පමණ වෙනවා.

නමුත් විශේෂයෙන්ම අපි කියන්න ඕනේ අපිට හැකි වුණා මේ අවධානම ලොකු පරාසයකින් ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල වැඩි වෙනවා කියන එක දැනගෙන දෙසැම්බර් මාසේ උපකල්පන මත පිහිටලා ජනවාරි මාසේ අපි වැඩිපුර ටොන් 7,000කට අදික ප්‍රමාණයක් ඇනවුම් කළා. එම මිලියන 500කට වඩා වැඩි ලාබය මුළුමනින්ම පාරිභෝගික ජනතාව වෙත ලබා දෙන්නට තීරණය කළා. ඒ නිසා තමයි අපිට මේක කළමනාකරණය කරන්න පුළුවන් වුණේ. ඒ කෙසේ වෙතත් අපිට තියෙන ඩොලර් සංචිත එක්ක අපිට ඇනවුම් කරන්න ලැබුනේ ගෘහස්ථ ගෑස් කියන කොටස විතරයි. මොකද අනිත් වාණිජ ගෑස් සඳහා අපිට ඒක කරන්න බැරි වුණා. ඒ වගේ ම අපි 2023 දී අවුරුදු පහුවෙනකම් අපිට ගෑස් තොග තිබෙනවා."

ප්‍රශ්නය - එතකොට කිලෝ ග්‍රෑම් 34 විශාල ප්‍රමාණයේ මිල වැඩි වෙයිද ?

"එකේ ගාන අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. කීයකින් වැඩි වෙයිද කියන එක අපි තාම තීරණය කරලා නෑ. ඉදිරියේ දී දැනුම්දෙයි. අපිට තිබුණ සියලුම ඩොලර් සංචිත වියදම් කරලා තමයි ටොන් 7,000ක උපරිමයකට ගියේ. ගෘස්ථ ගෑස් පාරිභොගිකයින් වෙනුවෙන් පමණක්."

ප්‍රශ්නය - මිල සංශෝධනය කවදා වගේ වෙයිද ?

"ආය මිල සංශෝධනයක් එන්නේ මාර්තු මාසේ මුල. ලෝක තත්ත්වයන් මත පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වගේ මාස තුනක වගේ කාලයක යම්තාක්දුරකට වැඩි වෙන ප්‍රවණතාවය තියෙනවා. නමුත් අප්‍රේල් මාසෙන් පස්සේ මේක නිරාකරණය වෙන්න පටන් ගන්නවා මේ අවුරුද්දේ අවසාන භාගේ වගේ. ඉතින් අපට පුළුවන් වෙයි ක්ෂණිකවම මිල අඩුවීමක් අපිට ලැබුනොත් අප්‍රේල් මාසෙන් පස්සේ. ඒ අනුව ජනතාවට ඒ සහනය දෙන්නත් පුළුවන් වෙයි."

ප්‍රශ්නය - මිල වැඩිවීම දැකලා ටොන් 7,000ක් ගෙනත් මේ වගේ පාලනයක් කළා. ඔබ තුමාට බෑ ද ඒ වගේ ඛනිජ තෙල් සංස්ථාව භාර දුන්නොත් එය පාලනය කිරීමේ හැකියාවක් තිබෙනවාද?

"නෑ මම ඉතා සතුටින් මේ ගෑස් ආයතනය කරගෙන යනවා. මම හිතන්නේ නෑ මට වෙන වගකීම් භාර ගන්න වෙලාව තියෙනවා කියලා." කෙසේ වෙතත් උද්ගතවූ ආර්ථික අර්බුදය සමග ගෑස් මිල වරින්වර ඉහළ ගිය අතර, ලි‍ට්‍රෝ ගෑස් මිල පසුගිය ජනවාරි 05 වැනිදා අවසන් වරට මිල අඩු කෙරුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now