හිටපු අමාත්‍යවරයෙකුගෙන් ජනපතිට සුවිශේෂී ලිපියක්..!
හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා. ඒ පවතින ආර්ථික දේශපාලන සමාජ අර්බුදයට කෙටිකාලීන හා මධ්‍යකාලීන යෝජනා ඇතුලත් කරමින්.
ඔහු එම ලිපියෙන් ප්‍රකාශකර ඇත්තේ පවතින අර්බුදය හමුවේ මහජනතාව විඳින අපහසුතා සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලෙන් පසුවන අතර ක්‍රියාත්මක කළ හැකි ඉතා සරළ එහෙත් ඵලදායීතාවයෙන් ඉහළ ප්‍රායෝගික යෝජනා පමණක් ඉදිරිපත් කරන බවයි.
විදෙස්ගතව සේවය කරන ශ්‍රී ලාංකිකයන් උපයන මුදල මෙරටට ලබා ගැනීමේදී ඔවුන්ට රජය විසින් සාධාරණයක් ඉටු කිරීමෙන් එම ප්‍රේෂණ වැඩි වශයෙන් රටට ලබාගැනීමට හැකිවනු ඇතැයි ඔහු සිය ලිපිය මගින් පෙන්වාදී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින්.
2022.04.28
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ .
අතිගරු ජනාධිපතිතුමනි,
පවතින ආර්ථික ,දේශපාලන, සමාජ අර්බුදයට කෙටිකාලීන හා මධ්‍යකාලීන යෝජනා ... පවතින අර්බුදය හමුවේ මහජනතාව විඳින අපහසුතා සම්බන්ධයෙන් දැඩි කණස්සල්ලෙන් පසුවන මා ක්‍රියාත්මක කළ හැකි ඉතා සරල එහෙත් ඵලදායිතාවයෙන් ඉහළ ප්‍රායෝගික යෝජනා ප්‍රමාණයක් ඉදිරිපත් කර සිටිමි.
1. විදේශයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ගෙන් ලැබෙන ප්‍රේෂණ අවධානය මුදල් අමාත්‍යතුමා විදේශ කටයුතු අමාත්‍යතුමා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යතුමා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා. විදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් තම මව්බිම හැරගොස් අසීමිත වූ ජීවිත සටනක යෙදෙමින් උපයන මුදල ශ්‍රී ලංකාවට ලබා ගැනීමේදී ඒ අයට රජය විසින් සාධාරණයක් ඉටු කිරීම තුළ ප්‍රේෂණ වැඩි වශයෙන් අප රටට ලබා ගත හැකි වනු ඇත. ඒ සඳහා පහත යෝජනා ඉදිරිපත් කරමි.
1.1මසකට රජය විසින් තීන්දු කරන අවම මුදලක් නිශ්චය කර එම මුදල් අඛණ්ඩව වසරක් එම අයගේ බැංකු ගිණුමට එවනු ලබන පුරවැසියන් සඳහා එම එවනු ලබන මුදල් ප්‍රමාණයට සාපේක්ෂව තීරුබදු සහනය (Duty Free Allowance) වැඩිකිරීම.
1.2වසර දෙකක් සෑම මසකම තීන්දු කරන අවම මුදල ගිණුමට එවනු ලබන පුරවැසියන් සඳහා එම එවන මුදල් ප්‍රමාණයට සාපේක්ෂව එන්ජින් ධාරිතාවය, වටිනාකම අනුව, වසර 5කට වඩා ඉපැරැණි කාර් රථයක් හෝ සංචාරක කර්මාන්තයේ, වාණිජ කර්මාන්තයේ, යෙදවීමට හැකි වාහනයක් (වෑන් / ට්‍රක් රථ) 20% ක තීරු බදු සහනයක් සහිතව ගෙන්විමට වාහන බලපත්‍රයක් ලබා දීමට කටයුතු කිරීම.
1.3 ඉහත ආකාරයෙන් වසර තුනක් සෑම මසකම විදේශ මුදල් එවන පුරවැසියන් සඳහා මෙරට ආයෝජනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් වශයෙන් ඉඩම් කොටසක්, වසර 5ක ආදායම් බදු සහනයක්, සියලුම අනුමැතීන් නිශ්චිත කාල සීමාවක් තුළ ලබා ගැනීමට එක් ආයතනයක් (One Stop Shop) පිහිටුවීම. සහන පොලී මත බැංකු ණය මුදලක් ලබා ගැනීමට වැඩපිළිවෙලක් සකස් කිරීම.
2. දේශීය කෘෂිකර්මාන්තය සහ ආහාර සුරක්ෂිතතාවය අවධානය කෘෂිකර්ම අමාත්‍යතුමා වාරිමාර්ග අමාත්‍යතුමා 2
.1දේශීය කෘෂි ආර්ථිකය නඟා සිටුවීමට නම් යම් ඩොලර් ප්‍රමාණයක් වැඩි වුවත් එය ආයෝජනයක් සේ සලකා පොහොර, වල්නාශක, කෘමිනාශක සහ වෙනත් යෙදවුම් නිසි කාලයට කඩිනමින් ගෙන්වාගැනීම. මෙමගින් ආහාර ආනයනය සඳහා වියදම් වන මුදලින් 90% ක්ම ඉතිරි කරගත හැකිය.
2.2 කඩිනම් වගා සංග්‍රාමයක් සඳහා වැඩ පිළිවෙලක් ආරම්භ කිරීම .සෑම ගෙවත්තක් ම වගා කිරීමට දිරිමත් කිරීම.
2.3 ජල කළමනාකරණය සහ නිසි කලට ජලය ලබා දීම මඟින් අමතර කන්නයක් (වගා වාරයක්) ආරම්භ කල හැක. 2020 වර්ෂයේ මහවැලි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මෙම තීන්දුව ක්‍රියාත්මක කර එහි ප්‍රතිඵල සාර්ථක ලෙස ලබා ගැනීමට ප්‍රායෝගිකව හැකි වු බව මේ මොහොතේ සිහිපත් කරමි.
මාර්තු 20 වෙනි දින වාරි ජලය ලබා දී සිංහල අලුත් අවුරුදු කාලය වන විට වී වපුරා අවසන් කිරීමට කටයුතු කල යුතුයි. එම කාල කළමනාකරණය සමඟ මැද කන්නයක් ආරම්භ කරමින් දින 45 න් අස්වැන්න ලබා ගත හැකි මුං සහ කව්පි වැනි භෝගයක් වගා කර ගොවියාගේ ආර්ථිකය මෙන්ම ජාතික ආර්ථිකයට ද, වැදගත් වන නිෂ්පාදනයක් කර ගත හැක.එම රනිල භෝග වගාව මඟින් පසට අවශ්‍ය නයිට්‍රජන් ද ලබා ගත හැකිය.
ඉන්පසු මාස් කන්නය සැප්තැම්බර්,ඔක්තෝම්බර් මාසය තුල ආරම්භ කල යුතුය.එමඟින් ජලාශ වල තිබෙන ජලය යම් ප්‍රමාණයක් වගාවට භාවිතා කිරීම තුලින් නොවැම්බර්,දෙසැම්බර් මාසයේ ලැබෙන ජලය ජලාශවල රදවා ගැනීමෙන් ජල අවශ්‍යතා චක්‍රය සාර්ථක කර ගත හැක.ඉහත කී ක්‍රමවේදය මඟින් ඉතා හොඳ ජල කළමනාකරණයකුත් කන්න 03 ක් වගා කිරීමකුත් සිදු කල හැක.
3.විදේශීය සේවය අවධානය විදේශ කටයුතු අමාත්‍යතුමා මුදල් අමාත්‍යතුමා සංචාරක අමාත්‍යතුමා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යතුමා මහ බැංකුවේ අධිපතිතුමා අපගේ විදේශ සේවයේ කාර්ය මෙහෙයවනු ලබන්නේ තානාපති කාර්යාල මගිනි . එම සේවාවන් වල දී මහජන පැමිණිලි විශාල වශයෙන් ලැබෙන තානාපති කාර්යාල මෙන්ම හොඳින් සේවාවන් සිදු කරන තානාපති කාර්යාල ද ඇත .
සෑම තානාපති කාර්යාලයක ම ඉහත කී අමාත්‍යාංශ හෝ ආයතන නියෝජනය කරමින් නිලධාරීන් ද සේවය කරනු ලබයි. තානාපතිවරයා හෝ කන්සියුලර් ජනරාල්වරයා ඇතුළු ඒ ඒ අංශ ප්‍රධානීන්හට, ඉලක්ක ලබාදීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුව ඇත . එම ඉලක්ක සැපිරීමට අපොහොසත් වන්නේ නම් තානාපතිවරු අංශ ප්‍රධාන නිලධාරීන්ගේ ප්‍රගතිය සමාලෝචනය කර ඒ අය අසාර්ථක නම් මෙරටට ගෙන්වීම සහ එම ඉලක්ක සපුරාලීමට භාරගන්නා නිලධාරීන් පත් කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුව ඇත. එම නිසා සෑම තානාපති කාර්යාලයකට ම,
3.1 අප රටට සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සිදු කර ඉලක්ක ගත සංචාරකයින් ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට කටයුතු කිරීම.
3.2 කුඩා ප්‍රමාණයේ හා මධ්‍ය පරිමාණයේ විදේශීය ආයෝජන ගෙන්වා ගැනීමේ ඉලක්ක. මන්ද යත් ආයෝජකයින්ට අප රට පිළිබඳව මනා අවබෝධයක් නොමැතිකමයි. එමනිසා වැඩසටහන් දියත් කර ආයෝජන දිරි ගැන්වීම තානාපති කාර්යාල මඟින් සිදු කිරීම.
3.3 තානාපති කාර්යාල පිහිටි අදාල රටේ ශ්‍රි ලාංකීකයින් සඳහා රැකියා ලබා ගැනීමට අවස්ථාවක් මෙන්ම ශ්‍රි ලාංකීකයින්ට කුඩා හා මධ්‍ය පරිමාණයේ ආයෝජන කිරීම සඳහා ඉලක්ක ගත වැඩපිලිවෙලක් ආරම්භ කිරීම. උදාහරණ ලෙස , අප්‍රිකානු රටවල පවා ශ්‍රි ලාංකීකයින්ට ආයෝජන අවස්ථා උදා කර විශාල දියුණුවක් ලබා ගත හැකි අතර එම සිදු කරන ආයෝජන මඟිනුත් නැවත අප රටට ප්‍රේෂණ එකතු වීම සිදු වේ.
රජයේ සහයෝගයක් නොමැතිව එවැනි රටවල සිට ශ්‍රි ලාංකීකයින් දියුණු වී මුදල් මෙරටට එවීමට කටයුතු කරනු ලබයි.රජයේ ශක්තිය ඊට ලබා දීමෙන් විදේශයේ ආයෝජන සඳහා යන පුද්ගලයින් ප්‍රමාණය විශාල වශයෙන් වැඩි කල හැකිය. 3.4 විදේශීය තානාපති කාර්යාල මඟින් විදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ඉතා ප්‍රශස්ත සේවයක් ලබාදීම පිළිබඳව ද, අවධානය යොමු කළ යුතු කාරණයකි .
මන්ද ඒ අය මඟින් තානාපති කටයුතු සඳහා විශාල ආදායමක් උත්පාදනය කරන බැවිනි. එනමුත් සමහර තානාපති කාර්යාල වල සේවය ලබා ගැනීමට එන දෙස් විදෙස් පුරවැසියන්ට ඉඳ ගැනීමට පුටුවක් හෝ සනීපාරක්ෂක පහසුකම් ද නොමැති තානාපති කාර්යාල තිබීම අප කණගාටු විය යුතු කරුණකි. ශ්‍රි ලාංකීක සත්කාරක ගුණාංගය ප්‍රථමයෙන්ම හදුන්වා දිය යුත්තේ තානාපති කාර්යාල මඟිනි.
4. රාජ්‍ය සේවය අවධානය රාජ්‍ය පරිපාලන, රාජ්‍ය සේවා ස්වදේශ කටයුතු අමාත්‍යතුමා කම්කරු අමාත්‍යතුමා 4.1 මෙරට රාජ්‍ය සේවයේ නියැලෙන රාජ්‍ය සේවකයින් සඳහා වසර 02 ක අවමයකට ද, වසර 10 ක උපරිමයකට ද, යටත්ව විදේශයෙහි රැකියා කිරීම සඳහා පඩි රහිත නිවාඩු ක්‍රමය සංශෝධනය කිරිම.එමගින් උගත් වියතුන්ට විදේශීය රැකියා ඉල්ලුමට සැපයුමක් ලබාදීමට හැකියාව ඇත. මෙම ක්‍රමවේදයෙන් රාජ්‍ය සේවකයින්ගේ ආර්ථිකය ශක්තිමත් කර කරගැනීමටත් අප රටට විදේශීය ප්‍රේෂණ ගලා ඒමත් සිදු වේ.එමෙන්ම එතෙරදී ලබාගන්නා පළපුරුද්ද, ළුලදායීතාවය, ක්‍රියාශීලීත්වය අප රටේ ප්‍රශස්ත මහජන සේවාවක් සඳහා ඉවහල් වනු ඇත .
4.2 රාජ්‍ය සේවයකින් ආයතන වලට අවශ්‍ය ප්‍රමාණයක් ඉතිරි කරගෙන දැනට වසා දමා ඇති සහ පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර දියුණු කිරීම සඳහා රාජ්‍ය පුද්ගලික ඒකාබද්ධ ව්‍යාපාර බවට පත් කර එම ආයතන දියුණු කිරීම කල යුතුය.ඒ මගින් රාජ්‍ය සේවයේ බර එම ආයතන උත්පාදනය කරන මුදලින් දරාගත හැකිය.වැටුපට අමතරව ලාභාංශ ලබා දීමෙන් එම රාජ්‍ය සේවකයින් නව පිබිදීමකින් වැඩ ආරම්භ කිරීමද සිදුවනු ඇත.
4.3 ප්‍රංශය වැනි රටවල විශ්‍රාම වැටුප පුද්ගලික අංශයට ද රාජ්‍ය අංශයට ද එක හා සමානව ලැබේ.එය වැඩ කරන සේවා කාලය වසර ගණන අනුව තීන්දුවේ .එවැනි ක්‍රමයක් ආරම්භ කිරීම ඉතාමත් කාලෝචිතය .එමඟින් රාජ්‍ය සේවය හා පෞද්ගලික අංශය තුල සේවා තුලනයක් ඇති වේ. ඊට හේතුව වන්නේ පුද්ගලික අංශයට විශ්‍රාම වැටුප් ලබා දීම මඟින් රාජ්‍ය සේවයේ රැකියා පසුපස හබා යාම,රාජ්‍ය සේවයේම රැකියාවක් ලැබෙන තුරු කාලය කා දැමීම නතර වන අතර පුද්ගලික අංශය ඉතා කැපවීමෙන් සේවය කරන පුරවැසියන්ට ද, අවධානමකින් තොරව තම විශ්‍රාම දිවිය සුවසේ ගෙවීමට හැකි වනු ඇත.
5. සංචාරක කර්මාන්තයේ ආකර්ෂණය වැඩි කරගැනීම. අවධානය සංචාරක අමාත්‍යතුමා ගුවන් සේවා අමාත්‍යතුමා ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා වනජීවී වන සංරක්ෂණ අමාත්‍යතුමා
5.1 සංචාරකයින් ගුවන්තොටුපලේ සිට හෝටලය දක්වා රැගෙන යෑමේදී සිදු කරන සත්කාරය, ගුවන්තොටේ දී පිළිගැනීම ද, වැඩි දියුණු කළ යුතුය.එමෙන්ම ශ්‍රි ලංකාවෙන් පිටව යාමේ දී ගුවන් සේවා කවුළුවල රස්තියාදු වන කාලය අවම කල යුතුය. උදාහරණ - සමහර අවස්ථාවලදී සමහර සංචාරයකින් පැමිණ සේවා කවුළුව ලඟ පැය භාගයක් ගත කරන අවස්ථා පිළිබඳ ද, පැමිණිලි ලැබී ඇත.ජපානය වැනි රටක ඒ සඳහා ගත කරනු ලබන්නේ විනාඩි 03 ක වැනි කාලයකි.
5.2 සංස්කෘතික ත්‍රිකෝණයට අදාල ඓතිහාසික සිද්ධස්ථාන වැඳ පුදා ගැනීම , දැක බලා ගැනීම සඳහා ප්‍රවේශ පත්‍රය එකකට සීමා විය යුතු අතර දැක බලා ගැනීමේ වේලාව අනිවාර්යෙන්ම වැඩි කළ යුතුය.ඊට එක් හේතුවක් වන්නේ ගර්ම කලාපීය රටක් ලෙස පවතින අව් රශ්මියට විසඳුමක් ලෙස රාත්‍රි කාලයේදී ඓතිහාසික සිද්ධස්ථාන වැඳ පුදා ගැනීම,දැක බලා ගැනීම සඳහා වැඩි වැඩියෙන් සංචාරයකින් උනන්දු වනු ඇත.මේ වන විට එම භුමිවල විදුලි ආලෝක පද්ධති දල්වා ඇති හෙයින් ඒ සඳහා අමතර වියදමක් ද වැය වන්නේ නැත. උදාහරණයක් ලෙස පොළොන්නරුව ගල්විහාරය පුදබිම, සොළොස්මස්ථාන පුදබිම උදේ 5.00 සිට රාත්‍රී 11.00 දක්වා ද, සීගිරිය නැරඹීම පාන්දර 5.00 සිට සිදු කරන මෙන් විශාල ඉල්ලීමක් ලැබී ඇත.
5.3 සංචාරකයින් (දෙස් / විදෙස්) නරඹනු ලබන ස්ථානවල සනීපාරක්ෂක පහසුකම් තිබුණද, ඒවායේ නඩත්තු කිරීම හා සොයා බැලීම ඉතාම පහත් මට්ටමකට වැටී ඇත.මෙම ස්ථාන පිරිසිදු කර තැබීමේ පසුවිපරම කෙරෙහි අවධානය දිය යුතුව ඇත.
5.4 ජාතික උද්‍යාන (මින්නේරිය/උඩවලව/කවුඩුල්ල/යාල/විල්පත්තුව) වල ප්‍රයෝජනය උපරිම වශයෙන් ලබා ගෙන ඩොලර් ආදායම වැඩි කිරීම සඳහා සෑම ජාතික උද්‍යානයක් ම “over night camping site” සුදුසුම ස්ථාන වල ආරම්භ කිරීම සිදු කල යුතුය. එමගින් විශාල ආදායමක් මෙන්ම මේ රටට සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීමට හැකිවනු ඇත.
5.5 Eco tourism / Irrigation tourism/ Adventure tourism/ Agro tourism/ ජල ක්‍රීඩා වෙරළ ක්‍රීඩා /ආයුර්වේද සංචාරය සම්බන්ධව සංචාරක මණ්ඩලයේ අවධානය ඉතාම පහළ මට්ටමක පවතී . මේ සඳහා වැඩපිළිවෙලකට එම ආයතන වෙත ඉලක්ක ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි . ඒවා ප්‍රවර්ධනය කිරීමට අපගේ ගුවන් සේවයේ වීඩියෝ දර්ශන භාවිතා කිරීම කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත .
6. අපනයන මඟින් ආදායම වැඩි කර ගැනීම. අවධානය විදේශ කටයුතු අමාත්‍යතුමා වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා සුළු අපනයන බෝග අමාත්‍යතුමා අපනයන සංවර්ධන මණ්ඩලය 6.1 අපනයන වැඩි කිරීම සඳහා තානාපති කාර්යාල මීට වඩා ඉතා වැඩි වගකීමක් සහ සහයෝගයක් ලබා දිය යුතුව ඇත.තානාපති කාර්යාලයක අපනයන ප්‍රවර්ධන සඳහා අවම වශයෙන් නිලධාරීන් දෙදෙනකු හෝ යොදවා ඒ අයට ඉලක්ක ලබාදීමෙන් අපනයන වැඩි කර ගත හැක.
6.2 අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය දැනට පවතින තත්ත්වයට වඩා සේවාවක් ලබාදීමට කටයුතු කළ යුතුව ඇත. දැනට එහි පහසුකම් ලබන්නේ ඉතා සීමිත කොට්ඨාසයක් වන අතර අපනයනයේ දොර ගම දක්වා විහිදී නොයෑම තුළ දක්ෂ අපනයන මට්ටමේ කුඩා, මධ්‍යම පරිමාණයේ බොහෝ ව්‍යාපාරකයින් සිටියත් ඒ අයට ඉඩක් ලැබී නැත.
6.3 ලෝකයේ බොහෝ රටවල ජාත්‍යන්තර මට්ටමේ වෙළෙඳ ප්‍රදර්ශන සෑම වසරකම ක්‍රියාත්මක කරනු ලබයි.තානාපති කාර්යාල මඟින් එම ප්‍රදර්ශණ පිළිබඳ සොයා බලා ඉඩකඩ වෙන් කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර අප රට තුල සිදු කරනු ලබන නිෂ්පාදන එම වෙළඳ ප්‍රදර්ශණවලට ගෙන යාම මඟින් අපනයන වැඩි කර ගැනීමට අවස්ථාව උදා කර ගැනීම.
7. දේශපාලන ස්ථාවර භාවය හා විනිවිදභාවය. 7.1 දේශපාලනඥයා විසින් බිඳුනු විශ්වාසය සමාජ සැකය දුරු කිරීම. ජනතාව සෑම ආණ්ඩුවකට ම ඉහළ ජනවරමක් ලබා දුන්නද ජනතාවගේ සුභසිද්ධිය උදෙසා වූ අණ පනත් සම්මත නොවීම, සංශෝධනය නොවීම තුළ මහජනතාවට අපහසුතා රැසකට මුහුණ දීමට සිදු වී ඇත. ඒ සම්බන්ධව ජනතාව ඉතා කනගාටුවෙන් සිටි.බොහෝ පැරණි අණපනත් කඩිනමින් වර්තමානයට උචිත වන පරිදි සංශෝධනය කිරීම ඉතාමත් වැදගත් වේ.
7.2 ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම. පත්වන ආණ්ඩුවලට ජනප්‍රියත්වය පදනම් කරගෙන විටින් විට වෙනස් කළ නොහැකි වන ආකාරයට කඩා වැටුණු අධ්‍යාපනය ගොඩනැගීම සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කළ යුතුය. ප්‍රමිතියෙන් යුක්ත වූ ජාත්‍යන්තරය පිළිගත් පෞද්ගලික විශ්ව විද්‍යාල පද්ධතියක් ආරම්භ කිරීමට කාලය පැමිණ ඇත. අප රටට ඇති බුද්ධිමය සම්පත,උපාධියට ඇති පිළිගැනීම,අධ්‍යාපනයේ ගුණාත්මකභාවය,පිළිබඳව ලෝක ප්‍රජාව ඉදිරියේ ඇත්තේ ඉහල පිළිගැනීමකි.
එහි ප්‍රයෝජනය ලබා ගැනීම අප සිදු කරන්නේ ද යන වග අප සියලු දෙනාට ප්‍රශ්ණයකි. සියළු අංශ සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීම මඟින් විදේශීය සිසුවන් සඳහා අප රට තුල අධ්‍යාපනය ලබා දීමෙන් ඉහල ආදායමක් ලබා ගත හැකි වන අතර අප රට තුල වැඩිදුර අධ්‍යාපනයට ඉඩ සීමා වීමෙන් විදේශ රටවල අධ්‍යාපනයට යොමු වන සිසුන් ප්‍රමාණය ඉතා ඉහලයි.
ඒ නිසා අතිවිශාල ඩොලර් ප්‍රමාණයක් පිටරටට ගලා යයි. පුද්ගලික විශ්ව විද්‍යාල පද්ධතිය ආරම්භ කිරීම මඟින් අප දරුවන් විදේශ විශ්ව විද්‍යාල කරා යාම ද, සීමා කර ගත හැකිය. අප රටට පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් ලැබෙන ආදායමින් ඉහල ලකුණු ප්‍රමාණයක් ලබා ගත් එහෙත් විශ්ව විද්‍යාල ප්‍රවේශය නොලබන සිසුන් සඳහා එම විශ්ව විද්‍යාලවල ශිෂ්‍යත්ව ලබා දීමේ ක්‍රමයක් ද, ආරම්භ කල හැකිය.
ඉහත යෝජනාව මඟින් ගැටලු 03 කට විසඳුම් ලැබේ. ඉහත කී අධ්‍යාපන ප්‍රතිපත්තියට අමතරව ජාතික ආර්ථික ප්‍රතිපත්තිය අප රට තුල ව්‍යාපාර ගොඩනැඟීමට විශේෂ වු කාරනයක් වේ.වෙනස් නොවන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් තුල දේශීය නිෂ්පාදන ආරම්භ කිරීම සඳහා පුරවැසියන් පෙල ගැසෙනවා නොඅනුමානයි. එමෙන්ම දේශිය කර්මාන්ත කරුවාද, මෙමඟින් ආරක්ෂා වේ.
කෘෂිකාර්මික ප්‍රතිපත්තිය කෙරෙහි ද, අවධානය යොමු කල යුතුය. එමෙන්ම ප්‍රධාන වූ එක් එක් විෂයයන්ට අදාළ ජාතික ප්‍රතිපත්ති කඩිනමින් සකස් කිරීම කල යුතුය. 7.3 දේශපාලකයාට චෝදනාවක්, නරක නාමයක් නොවන පරිදි මෙන්ම දූෂණය වංචාවන්ට ඉඩ ලබා නොදීම සඳහා කොමිෂන් සභා යළි පිහිටුවීම හා ඒවා බලාත්මක කිරීම ඉතා වැදගත් වේ.
රට දියුණු කිරීමට නම් සෑම ක්ෂේත්‍රයකම විගණනය මූලික විය යුතුය. එසේ හෙයින්, විගණන කොමිෂන් සභාව ප්‍රසම්පාදන කොමිෂන් සභාව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය සේවා කොමිෂන් සභාව අධිකරණ කොමිෂන් සභාව පොලිස් කොමිෂන් සභාව ඇතුළු ප්‍රධාන කොමිෂන් සභා බල ගැන්විය යුතුය.
7.4 විටින් විට තමාට බලයට ඒම සඳහා පටු මතයකට ව්‍යවස්ථා සංශෝධන සඳහා ඉඩ ලබාදීමකට අවශ්‍යතාවයක් නොමැත. එමෙන්ම රටක ස්ථාවර පාලනයක් සඳහා ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට අනිවාර්යෙන්ම බලතල තිබිය යුතු බව මාගේ හැඟීමයි. එම නිසා පුද්ගලයින්ට බලයට ඒමට ව්‍යවස්ථා සංශෝධනය නතර කල යුතු අතර ජාතික ප්‍රතිපත්තිවලින් සමන්විත වු කොමිෂන් සභා ඇතුලත් විධායක ජනාධිපති ක්‍රමය අප රටට උචිත බව මාගේ හැඟීමයි.
08.සමාජ ප්‍රශ්න අවධානය වෙළඳ හා පාරිභෝගික අමාත්‍යතුමා අධිකරණ අමාත්‍යතුමා මුදල් අමාත්‍යතුමා රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමා ජනමාධ්‍ය අමාත්‍යතුමා 8.1 පාස්කු ප්‍රහාරය පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරදීම අපගේ ප්‍රධාන පොරොන්දුවක් වූ බව සිහිපත් කරමි . නමුත් එම ගැටළුව නොවිසඳී ජාත්‍යන්තරය දක්වා දුරදිග යාමට ඉඩ හැරීම ද බරපතළ ගැටලු සහගතය.එහෙයින් කාදිනල් හිමිපාණන්ගේ සහ කතෝලික ජනතාවගේ කැකැරෙන වේදනාවට අනිවාර්යෙන් විසඳුම් ලබා දිය යුතුව තිබේ .
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් චූදිතයින් කඩිනමින් අධිකරණය හමුවට පමුණුවන්න අවශ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස කතෝලික ප්‍රජාව වෙනුවෙන් ඉල්ලා සිටිමි . ශ්‍රී ලාංකීය ජනතාව පක්ෂ භේදයෙන්, ජාති භේදයෙන්, ආගම් භේදයෙන් තොරව කියා සිටිනුයේ පාස්කු ප්‍රහාර පිළිබඳ සාධාරණ කඩිනම් ක්‍රියාමාර්ග ගෙන එහි චූදිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.
8.2 සමාජ මාධ්‍යය චෝදනා අප රජය බලයට පත් වු 2020 අගෝස්තු මාසයේ සිට මේ දක්වා පාලන කාලය තුල වංචා, දූෂණ අක්‍රමිකතා සිදු වු බවට සමාජ මාධ්‍ය මගින් දිගින් දිගටම ප්‍රචාරය වීම දැකිය හැකිය. එහි සත්‍යය අසත්‍යයතාවය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට වැඩපිළිවෙලක් යෙදිය යුතු වේ.
යම් සත්‍යතාවයක් ඇති කාරණා තිබේ නම් විමර්ශන සිදු කර නිතීමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඊට අදාල ආයතන වෙත දැනුවත් කිරීම. 8.3 මිල පාලනය සමාජය මුහුණ දෙන අධික ජීවන වියදම් අපහසුතා මගහරවා ගැනීම සඳහා ආර්ථික වර්ධන වේගයට ඍජුව බලනොපාන සියලුම සංවර්ධන කටයුතු යම් කලකට පමා කර ජනතාව සඳහා සහන ලබාදීමට කටයුතු කල යුතු වේ.
එමෙන්ම ඉල්ලුමට සැපයුම ස්ථාවර වන තෙක් කළු කඩ සංස්කෘතියට තිත තැබීම සඳහා දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් ගේ මැදිහත්වීම හා සහයෝගය මත ලැබිය යුත්තන්ට ප්‍රමුඛතාවය ලැබෙන පරිදි භාණ්ඩ ලබාදීමට කටයුතු කල යුතුය. උදාහරණ වශයෙන් කිරිපිටි අවශ්‍ය වන්නේ ප්‍රධාන වශයෙන් ම දරුවන් සිටින පවුල් වලටයි. ඒ අයට ප්‍රමුඛතාවය ලබා දෙන්නේ නම් සමාජය අවබෝධයෙන් සහ ඉවසීමෙන් කටයුතු කරනු නොඅනුමානය.
ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කර ඉහත කී කාරණා සම්බන්ධයෙන් ඊට අදාල අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානින් දැනුවත් කිරීමෙන් මා ඉදිරිපත් කළ ඉහත කළ හැකි සරල කාරණා මගින් අප රටේ ආර්ථිකයට, දේශපාලනඥයො පිළිබඳ බිඳුනු විශ්වාසයට, සමාජ කෝපයට සහනයක් සහ විසඳුමක් ලබා දීමට හැකි වන බව මාගේ විශ්වාසයයි.
අතිගරු ජනාධිපතිතුමණි, බිම් මට්ටමේ ජනතාව තුල තිබෙන ආර්ථික අසහනය විසඳීමට හැකිවේ යැයි විශ්වාස කරන දේශපාලන විසදුමක් සඳහා අග්‍රාමාත්‍යතුමන් සමඟ කඩිනමින් සාකච්ඡා කර ඔබ දෙපලගේ එකඟත්වයෙන් ජාතික ආණ්ඩු සංකල්පයකට හෝ අන්තර්වාර පාලනයකට යාම සුදුසු බව මා ද යෝජනා කර සිටිමි.
ස්තූතියි !
රොෂාන් රණසිංහ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |