පළාත් පාලන මැතිවරණය හා මන්ත්‍රී අසන ගැන පැෆ්රල් සංවිධානයෙන් අගමැතිට ලිපියක්
පළාත් පාලන මැතිවරණය පනත සංශෝධනය සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත් කිරීමට අදාළව පැෆ්රල් සංවිධානය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත ලිපියක් යොමුකර තිබෙනවා. අදාළ තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙසට සියලුම පාර්ශවයන්ගෙන් අදහස් ලබාගැනීමට කටයුතු කිරීම පිළිබඳ පැෆ්රල් සංවිධානයේ ස්තූතිය ද පිරිනමන බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ.
එළි දක්වා ඇති වාර්තාවට මෙතෙක් සියලුම පාර්ශවයන් අත්සන් තබා නොමැති වුව ද එහි අන්තර්ගත බොහෝ යෝජනා පිළිබඳ ප්‍රසාදය පළ කරන බව ද පැෆ්රල් සංවිධානය ප්‍රකාශකර තිබෙනවා.
ගරු අග්‍රාමාත්‍ය,
දිනේෂ් ගුණවර්ධන මැතිතුමා,
අග්‍රාමාත්‍ය කාර්යාලය,
නො.58, අර්නස්ට් ද සිල්වා මාවත,
කොළඹ 07.
2022-09-08
ගරු අග්‍රාමාත්‍යතුමනි,
පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය හා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමයේ සංශෝධන හා මැතිවරණ පනත සංශෝධනය සඳහා තේරීම් කාරක සභාවක් පත්කිරීම හා එහි සභාපතිවරයා ලෙස සියලුම පාර්ශවයන්ගෙන් අදහස් ලබාගැනීමට කටයුතු කිරීම පිළිබඳ පැෆ්රල් සංවිධානයේ ස්තුතිය මේ සමග පිරිනමමු. එම වාර්තාව මේ වන විට එළිදක්වා ඇති අතර, ඒ සඳහා සියලුම පාර්ශවයන් අත්සන් තබා නොමැති වුවද එහි අන්තර්ගත බොහෝ යෝජනා පිළිබඳව අපගේ ප්‍රසාදය පලකිරීමට කැමැත්තෙමු.
කෙසේ වෙතත් එම යෝජනා අතර පළාත් පාලන මැතිවරණයට අදාලව කර ඇති යෝජනා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයට පටහැනි වන බව ඔබතුමාට අවධාරණය කිරීමට කැමැත්තෙමු.
1. මහජන මුදල් භාවිත කරමින් මහජන සුබසාධනයේ යෙදෙන සමහර ක්ෂේත්‍ර නිලධාරීන් එම කොට්ඨාශයෙන් තරඟ කිරීම සිදුකලහොත් ඔවුනට විශේෂ වාසියක් අත්වීම වැළැක්විය නොහැකි බැවින් එවැනි තත්ත්වයන් වළක්වාගැනීමට ඔවුන් වසරකට පෙර එම කොට්ඨාශයෙන් බැහැරවිය යුතු බවට වූ නීතිය වෙනස් කිරීමට තීන්දු කර ඇති බව වාර්තාවේ. එවැනි තත්ත්වයන් මැතිවරණයක තිබිය යුතු සමබිම අහිමි කරන්නකි.
2. බහුතර මන්ත්‍රී ධුර දිනාගත් පක්ෂයට බෝනස් ආසන ලබාදීම
මෙම ආකෘතිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ක්‍රියාත්මක වුවද පළාත් පාලන මැතිවරණ ක්‍රමයට එක් කිරීමට තීරණය කිරීම හරහා ප්‍රාදේශීය නියෝජන ක්‍රමයේ මූලික හරය එමගින් විනාශ විය හැකි අතර ජනතා කැමැත්ත විකෘතිවීමක්ද එමගින් සිදුවිය හැකිය. එමෙන්ම පළාත් පාලන ක්‍රමය තුළ විපක්ෂයක් නොමැති අතර දේශපාලන සංස්කෘතියේ ඇතිකල යුතු වෙනස්කම් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මයන්ට පටහැනිව නීති මගින් සිදුකිරීම අහිතකර ප්‍රතිවිපාක ඇතිකරන්නක් විය හැකිය.
3. එල්ලන ලද (Overhang) ආසන ඉවත් කිරීම
එල්ලෙන ආසන හේතුකොට මහජන නියෝජිතයින් ප්‍රමාණයේ යම් වැඩිවීමක් සිදුව ඇති නමුදු එය මෙම ක්‍රමයේ ස්වභාවික ලක්ෂණයකි. ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව අවධානය යොමුනොකර එල්ලෙන ආසන පමණක් ඉවත්කිරීමට කටයුතු කලහොත් එයද මහජන මතය විකෘති කරනු ඇත. සමානුපාතික පදනම බිඳහෙලනු ඇත. ඉහතින් දක්වා ඇති කරුණු වලට අමතරව පළාත් පාලන පනත මේ වන විට සංශෝධනයට ලක්වෙමින් පවතින බවටද වාර්තා පලවන අතර එය පළාත් පාලන මැතිවරණය කල්දැමීමට හේතුවන ආකාරයට සිදුනොවිය යුතු බව අප තරයේ විශ්වාස කරමු.
නමුත් සිදුකල යුතු සංශෝධන වෙත්නම් එය සිදුවිය යුතු බව අපගේ අදහස වන අතර පූර්ව අත්දැකීම් වලට අනුව පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල්දැමූ සේ පළාත් පාලන මැතිවරණයටද එම ඉරණම අත්නොවිය යුතු බවද අවධාරණය කිරීමට කැමැත්තෙමු. පළාත් පාලන හා පළාත් සභා විෂය භාර අමාත්‍යවරයා ලෙස ඔබතුමා මේ කෙරෙහි විශේෂ අවධානය යොමුකරනු ඇතැයි විශ්වාස කරමු.
රෝහණ හෙට්ටිආරච්චි - විධායක අධ්‍යක්ෂ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |