SLS ලාංඡනය නොමැති හෙල්මට්වලට එරෙහිව දැඩි නීතිමය පියවර
2026 වසරේ පුරා SLS ලාංඡනය නොමැති හෙල්මට් නිෂ්පාදකයින් සහ වෙළෙඳුන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැඩි නීති ක්‍රියාත්මක කර තිබේ.
මේ දක්වා වැටලීම් හා නීතිමය ක්‍රියාමාර්ග 151ක් ගෙන ඇති අතර, හෙල්මට් 4,038ක් අධිකාරිය භාරයට ගෙන ඇත. 2026 ජූලි 27 දින දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ වැටලීම් වැඩසටහනේදී වැටලීම් 98ක් සිදු කර, SLS ලාංඡනය නොමැති හෙල්මට් 431ක් භාරයට ගෙන තිබේ. තවද, SLS බලපත්‍රය අලුත් නොකළ කර්මාන්තශාලා දෙකක තිබූ හෙල්මට් 3,520ක් අලෙවිය නතර කිරීමට කටයුතු කර ඇත.
ජනවාරි සිට ජූනි දක්වා සිදු කළ වැටලීම්වලදී නඩු 53ක් ගොනු කර ඇති අතර, ඒ අතරින් නඩු 39ක් අවසන් වී ඇත. අධිකාරිය සියලු නිෂ්පාදකයින්ට වලංගු SLS බලපත්‍රයක් නොමැතිව හෙල්මට් නිෂ්පාදනයෙන් වළකින ලෙස දැනුම් දී ඇති අතර, වෙළෙඳුන්ටත් SLS ලාංඡනය නොමැති හෙල්මට් ගබඩා කිරීම, ප්‍රදර්ශනය කිරීම හෝ අලෙවි කිරීමෙන් වළකින ලෙස අවධාරණය කරයි.
එසේම, පාරිභෝගිකයන්ට අඩු මිල සලකා SLS ලාංඡනය නොමැති හෙල්මට් මිලදී ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා සිටී. ප්‍රමිතියෙන් තොර හෙල්මට් අනතුරකදී අවශ්‍ය ආරක්ෂාව ලබා නොදෙන බැවින් ජීවිතයට හා පවුලේ සාමාජිකයන්ට බරපතළ ප්‍රතිවිපාක ඇති විය හැකිය.
අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, SLS ලාංඡනය නොමැති හෙල්මට් නිෂ්පාදනය කරන හෝ අලෙවි කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසය.