කුසල්ගේ ශල්‍යකර්මය සඳහා ගෙවීම් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්..!

Cricket Sri Lanka Cricket Sri Lanka
By Sewvandhi Jul 25, 2022 03:33 PM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ ආබාධය සහ ශල්‍යකර්මය සඳහා මුදල් ගෙවීම සම්බන්ධයෙන් පළ වන වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැහැදිලි කිරීමක් නිකුත් කර තිබෙනවා.

දීර්ඝ කාලීන උරහිසේ ආබාධයකට ලක්ව සිටි කුසල් ජනෛත් ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය අනුමණ්ඩලය සමඟ සාකච්ඡා කර සති 12ක පුනරුත්ථාපන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබුණ බවත්, ඒ ඔස්සේ ඔහුව 2022 ආසියානු කුසලාන තරගාවලියට සහ 2022 විස්සයි විස්ස ලෝක කුසලානයට තේරීම් සඳහා සූදානම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වූ බවත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටිනවා.

තව ද කුසල් ජනිත්ට මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් උපදෙස් දුන්නේ, කිසිදු අයුරකින් තරඟකාරී ක්‍රිකට්වල නිරත වීමෙන් වැළකී ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ යෝජිත ‘පුනරුත්ථාපන වැඩසටහනට’ යොමු වන ලෙසයි.

එසේ ම අදාළ පුනරුත්ථාපන වැඩසටහන කල් දැමීම ඔහුගේ ආබාධයට අහිතකර ලෙස බලපෑ හැකි බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහුට උපදෙස් දුන් බව ද මෙම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

කෙසේ නමුත් කුසල් ජනිත් පෙරේරා ලංකා ක්‍රිකට් ආයතනයේ උපදෙස්වලට අවනත නොවී ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියට සහභාගි වී තිබෙන බවත්, එමඟින් ඔහුගේ ආබාධ තත්ත්වය ප්‍රකෘතිමත් වීම කෙරෙහි එය බලපා ඇති බව ද ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

නමුත් ඔහු ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරඟාවලියට සහභාගී වීමෙන් පසුව ද, ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය මණ්ඩලය විසින් ඔහුට අවශ්‍ය සෞඛ්‍ය පුනරුත්ථාපන කටයුතු කිරීමට තීරණය කළ බවත්, එළඹෙන ආසියානු කුසලානය සහ 2022 විස්සයි විස්ස ලෝක කුසලානය කෙරෙහි අවධානය යොමු කරමින්, මෑත මාස කිහිපයේ දී ඔහුව ජාත්‍යන්තර සංචාර කිහිපයකින් ඉවත් කළ බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කරනවා.

කෙසේ වෙතත්, මෙම උත්සාහයන් නොතකා, කුසල් ජනිත් නිතිපතා අදාළ 'පුනරුත්ථාපන' කාර්යයට සහභාගී වීමට අපොහොසත්ව ඇති බවත්, අවසන් වශයෙන් ඔහු 'පුනරුත්ථාපනය' කටයුතු සඳහා, අධි කාර්යසාධන පුනරුත්තාපන මධ්‍යස්ථානයට වාර්තා කළේ 2022 අප්‍රේල් 29 වෙනිදා බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

අදාළ පුනරුත්ථාපන වැඩසටහන් මාලාව සඳහා කුසල් ජනිත්ගේ කැපවීමේ අඩුවක් පැවැතීම හේතුවෙන්, සහ ඔහුගේ ප්‍රමාදය හේතු කොටගෙන, ඉදිරි තරඟ සඳහා ක්‍රීඩකයින් සූදානම් කිරීමේ දී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමස්ත වැඩසටහනට ඔහුව නො ගැලපෙන බවත්, ඒ පිළිබඳ සලකා ඔහුව එළඹෙන ආසියානු කුසලානය සහ 2022 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන තේරීම් කටයුතු පිළිබඳව නැවත සිතා බලන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදු වූ බවත් අදාළ නිවේදනය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

කෙසේ නමුත් කුසල් ජනිත්ගේ ශල්‍යකර්මයට අවශ්‍ය මුදලින් වැඩි කොටසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරනු ලබන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහුට දැනුම් දී තිබෙන බව මෙමගින් නිවේදනය කරනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery