මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ හරක් කටා සහ කුඩු සලිඳු ගැන විශේෂ තීරණයක්..!

CID - Sri Lanka Police Sri Lanka Crime
By Sewvandhi Mar 15, 2023 03:46 PM GMT
Report

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් මෙන්ම අපරාධකරුවන් වන නඳුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු යන සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමිව තිබේ.

ඉන්දියාවේ මුම්බායි නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා රැගෙන ආ මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් මෙන්ම අපරාධකරුවන් වන හරක් කටා හා කුඩු සලිඳු අද අලුයම 5.30 මෙරටට රැගෙන ඒමට නියමිතව තිබුණි. කෙසේවෙතත් අදාළ ගුවන් යානයේ සිටි ගුවන් මගියෙකුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් යානය මෙරටට පැමිණීම ප්‍රමාද වුණි. ඒ අනුව පැයකුත් විනාඩි 50ක් ප්‍රමාද වූ යානය මෙරටට ළඟා වුණේ අද පෙරවරු 7.10ටය.

මෙම ප්‍රධාන පෙළේ අපරාධකරුවන් දෙදෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ගුවන් තොටුපොළ තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යොදවා තිබුණි. පැය භාගයකට ආසන්න කාලයක් ගුවන් තොටුපොළ තුළ රඳවාගෙන සිටි හරක් කටා හා කුඩු සලිඳු අනතුරුව ඉන් පිටතට රැගෙන ආවේද විශේෂ ආරක්ෂාවක් යටතේය.

පසුව ඔවුන් දෙදෙනාව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළේය. විනාඩි 45ක පමණ කාලයක් එහිදී පරීක්ෂා කළ හරක් කටා හා කුඩු සලිඳුව අනතුරුව ඉන් පිටතට රැගෙන ආවේය. එහිදී හරක් කටා හා කුඩු සලිඳු වෙන් වෙන්ව ආරක්ෂක අංශවලට අයත් වෑන් රථ දෙකක් තුළට ඇතුළු වූ අයුරු දැකගත හැකිවිය. අනතුරුව දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ආවේය.

වැඩිදුරටත් වාර්තාවන්නේ ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරන බවය. නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා පුද්ගල ඝාතන 5ක්, කොල්ලකෑම් 6ක් සහ මහ පරිමාණයෙන් මුහුදු මාර්ගය හරහා හෙරොයින් කිලෝග්‍රෑම් 670කට අධික ප්‍රමණයක් මෙරටට එවීම සම්බන්ධයෙන් චෝදනා ලත් පොලිසියට අවශ්‍යව සිටි අපරාධකරුවෙකි. සලිඳු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සලිඳුට ද හෙරොයින් 100KG ට අධික ප්‍රමාණයක් මෙරටට එවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබේ.

එමෙන්ම ඔහු පුද්ගල ඝාතන 9ක් පමණ මෙහෙයවා ඇති අතර තවත් සිව්දෙනෙකුට පමණ මරණීය තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලත් පොලිසියට අවශ්‍යව සිටි අපරාධකරුවෙකි. මෙවන් පසුබිමක අත්අඩංගුවේ පසු වන සිය පුත්‍රයා වන කුඩු සලිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කරන මෙන් ඉල්ලා ශිරානි මල්කාන්ති ප්‍රනාන්දු නම් කාන්තාව ගොනුකළ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ කැඳවීය. 

  එමෙන්ම සැකකරු විමර්ශන කටයුතු සඳහා අත්අඩංගුවෙන් පිටතට රැගෙන යන්නේ නම් මහේස්ත්‍රාත් වරයකුට දැනුම් දී මහේස්ත්‍රාත්වරයාගේ සුපරීක්ෂණය යටතේ එම කටයුත්ත සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කාරිය එසේ පිටතට රැගෙන යන අවස්ථාවලදී සැකකරු අත් සහ පාද වලට විලංගුලා රැගෙන යන මෙන් නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
JOin Now