කොත්තුවක මිලත් අහස උසට නගී - කෙටි ආහාර මිලත් වැඩි වෙයි

Food Shortages Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Food Crisis
By Sewvandhi Sep 04, 2022 02:28 PM GMT
Report

පාන් පිටි මිල ඉහල දැමීමත් සමඟ ආපනශාලාවල අනෙකුත් ආහාර මිල ගණන් ද මේ වනවිට ඉහල දමා තිබෙනවා. සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ ආපනශාලා හිමියන් විසින්ම සිය නිෂ්පාදන වල මිල ඉහල දමා ඇති බවයි. ඒ අනුව කොත්තුවක් රුපියල් 100කින් ද, පරාටා, බිත්තර රොටි, එළවළු රොටි සහ රෝල්ස් ඇතුළු කෙටි කෑම රුපියල් 10ත් 20ත් අතර මිලකින් ඉහල දමා තිබෙනවා.

මෙරට වෙළඳ පොළේ දැඩි තිරිඟු පිටි හිඟයක් මතුවී ඇති බවට වෙළඳුන් චෝදනා කරනවා. මේ හේතුවෙන් තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 300ත් 400ත් අතර මිලකට මිලදී ගැනීමට සිදුව ඇති බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ. කෙසේවෙතත්, මෙරටට තිරිඟු පිටි ආනයනය කරන ප්‍රධාන සමාගම් දෙක සතු තොග හැකි ඉක්මණින් වෙළඳපොලට නිකුත් කිරීමට පොරොන්දු වූ බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

සිල්ලර වෙළඳපොලේ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 350 ඉක්මවා ගොස් ඇති අතර එය ජනතාවගේ දෛනික ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ තොග වෙළඳපොලේ මේ වනවිට තිරිඟු පිටි හිඟයක් ද මතුව ඇති බවයි.

තිරිඟු පිටි මෙරටට ගෙන්වන ප්‍රධාන සමාගම් දෙකට අමතරව ඉන්දියාවෙන් ආනයනය කෙරෙන කිලෝග්‍රෑම් 50 තිරිඟු පිටි මිටියක මිල රුපියල් 20000 ඉක්මවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළා. එම සංගමයට අනුව ඇතැම් ප්‍රදේශවල ග්‍රෑම් 450 පාන් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 300ක මිලකටයි. කෙසේවෙතත්ල වෙළඳ අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් මෙතෙක් සිය ස්ථාවරය ප්‍රකාශ කර නැහැ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now