මිරිස් කුඩු ප්‍රහාරයක් කා, කොල්ලකරු සමග සටන් කර මුදල් පසුම්බිය රැකගත් කාන්තාව..

Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Jul 08, 2023 10:33 AM GMT
Report

ඊයේ (07) පස්වරුවේ කොටවිල, මැදකොටවිල උප තැපැල් කාර්යාලයට පැමිණි කොල්ලකරුවෙක් තැපැල් කාර්යාලයේ නිලධාරිනියට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලකර තැපැල් කාර්යාලයේ තිබූ මුදල් පැහැරගෙන යෑමට උත්සාහ කර තිබෙන පුවතක් වාර්තා වනවා.

  නාඳුනන පුද්ගලයෙකු යතුරුපැදියකින් තැපැල් කාර්යාලය වෙත පැමිණ මුද්දර මිලදීගැනීමට අවශ්‍ය බව පවසා ඇති බව පොලීසිය සඳහන් කරනවා.

එම අවස්ථාවේදී අදාළ, නිලධාරිනිය මුද්දර ලබාදීම සඳහා යන අවස්ථාවේදී ඇයගේ මුහුණට මිරිස් කුඩු ප්‍රහාරය එල්ලකර තිබේ. එම අවස්ථාවේදී සැකකරු තැපැල් කාර්යාලය තුළට ඇතුළුවී එහි තිබූ මුදල් පැහැර ගැනීමට තැත්කර ඇත.

එම අවස්ථාවේදී තැපැල් නිලධාරිනිය සැකකරු සමග පොරබදා මුදල් පසුම්බිය රැකගැනීමට සමත්වී තිබේ. කොල්ලකැම සිදුවන අවස්ථාව වනවිට ඇය භාරයේ රුපියල් 60,000 කට ආසන්න මුදලක් තිබී ඇති අතර පොරබැදීම හමුවේ සැකකරු පැමිණි යතුරුපැදියේ නැඟ පළාගොස් ඇත.

සිද්ධියේදී තුවාල ලැබූ නිලධාරිනිය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටවිල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.